Tuesday, October 22, 2024
Follow Us
මත්ද්‍රව්‍යට ඇබ්බැහිවී විශෝධනය වු තරුණයින්ට ගායන අභිෂේක ප්‍රසංගයක්

කැඩුණු - බිදුණු - සිතින් උපන් 'සෝභානුරාවය' 2024 ගායන අභිෂේක ප්‍රසංගය, 11 වන මිතුරු මිතුරෝ යහපත් අමද්‍යපික ජාතික සම්මාන උළෙල අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැල්මඩුල්ලේදී පැවැත්විණි.

මත්ද්‍රව්‍යට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීම වෙනුවෙන් ස්ථාපිත කර ඇති පැල්මඩුල්ල රිල්හේන පිහිටි මිතුරු මිතුරෝ සංසදයේ නිර්මාතෘ අති පුජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි  මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබු අතර, කුරුවිට, ගම්පහ සහ පිලියන්දල ප්‍රදේශවල මිතුරු මිතුරෝ විශෝදන මධ්‍යස්ථාන තුනක් පිහිටුවා ඇත.

එම මධ්‍යස්ථානවල විශෝධනය වු තරුණයින් අතර පවත්වන ලද ගායන තරගයෙන් අවසන් වටයට තේරී පත් වු තරගකරුවන් අට දෙනා අතර ජයග්‍රාහකයා තෝරා පත් කර ගැනීමේ  අවසන් මහා තරගය  සෝභානුරාවය 2024 ගායන ප්‍රසංගය යටතේ පැවැත්විණි. ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක නවරත්න ගමගේ, ප්‍රවීණ ගායන ශිල්පීනි නිරංජලා සරෝජනී, ගියන ශල්පී රොහාන් ශාන්ත බුලේගොඩ, විශාරද සුර්යා දයාරුවන්, විශාරද රනිල් මුදුන්කොටුව යන මහත්ම මහත්මීන් ‌අවසන් මහා තරගයේ විනිශ්චය මණ්ඩලය වශයෙන් කටයුතු කරන ලදී.

සෝභානුරාවය 2024 ප්‍රසංගය සඳහා දායකත්වය ලබා දුන් අය සඳහා ඇගයීම් සම්මාන ප්‍රදානය සිදු වූ අතර විශෝධනලාභීන් ඇගයීම ද මෙහිදී සිදු විය.

මිතුරු මිතුරෝ සංසදය තුළින් පුනරුත්ථාපනය වු ගායන ශිල්පී විරාජ් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ඇවලාන්ච් සංගීත කණ්ඩායම අවසන් මහා තරගය සදහා සංගීතය සැපයු අතර, සෝභානුරාවය 2024 ගායන තරගයේ අවසන් මහා තරගයේ ජයග්‍රාහකයා වු ඉෂාර දිල්ශාන් ජයග්‍රාහී  කුසලානය පිරිනැමීම අධිකරණ අමාත්‍යවරයා අතින් සිදු විය.

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා මිතුරු මිතුරෝ සංසදය 1987 වසරේ ආරම්භ කර ඇති අතර, මේ වන විට පහළොස් දහසක් පමණ පුනරුත්ථාපනය කර තිබේ.