Tuesday, October 22, 2024
Follow Us
“ඉංජිනේරුවන් සමඟ විශ්ලේෂණාත්මක කතා බහක්"- සංවාදාත්මක වැඩසටහනක්

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය-  සිවිල් ඉංජිනේරු අනුකමිටුව විසින් සංවිධානය කළ "කඩාවැටුණු ඉදිකිරීම් කර්මාන්තය, ආර්ථිකය සහ 2024 අයවැය"- ඉංජිනේරුවන් සමඟ විශ්ලේෂණාත්මක කතා බහක්" සංවාදාත්මක වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් GAP HQ ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති ඉංජිනේරු කුෂාන් දේවින්ද මහතාගේ සම්බන්ධීකරණයෙන් සංවිධානය වුණු මෙම වැඩසටහනට ඉදිකිරීම් ක්ෂේත්‍රය හා ඉංජිනේරු ක්ෂේත්‍රයේ විවිධ අංශවලට ඉංජිනේරුමය දායකත්වය ලබා දෙන වෘත්තිකයින් රාශියක් එක්ව සිටියහ.

මෙම වැඩසටහනේ සම්පත්දායකයින් ලෙස මහාචාර්ය රංජිත් දිසානායක මහතා,මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා සහ මහාචාර්ය ශිරන්ත හීන්කන්ද මහතා එක්වෙමින් ආර්ථිකයේ විවිධ පැතිකඩ පිළිබඳව විශ්ලේෂණාත්මක විග්‍රහයක නිරත විය.

එහිදී වර්තමානයේ රට මුහුණපා සිටින  ආර්ථික අර්බුදය කෙරෙහි බලපෑ දේශපාලනික, ආර්ථික සමාජයිය හේතු සාධක රාශියක් පිළිබඳව සංඛ්‍යා දත්ත සහිත කරුණු දැක්වීමක් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදු කළ අතර පසුගියදා එළිදැක්වූ "2024 අයවැය- ආර්ථික විද්‍යාත්මක හෝරාවක් " කෘතිය තුළ අන්තර්ගත වූ මෙම අර්බුදය හා ඉන් රට මුදවා ගැනීමට රජය විසින් ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තරය සමඟ එකඟ වී ඇති වැඩපිළිවෙළ පිළිබඳව කරුණු රැසක් ද විද්වත් සභාව වෙත ඉදිරිපත් කරන ලදි.

වැඩසටහන අවසානයේ අමාත්‍යවරයා ඇතුළු වැඩසටහනේ සම්පත්දායකයින් වෙත ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සිවිල් ඉංජිනේරු අනුකමිටුව විසින් විශේෂ සමරු තිළිණ ප්‍රදානයක් ද සිදුවිය.

ප්‍රවාහන හා මහ මාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා, ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති ඉංජිනේරු කුෂාන් දේවින්ද මහතා,ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සමාජික ඉංජිනේරුවරුන් ඇතුළු වෘත්තීයකින් රැසක් මෙම වැඩසටහනට එක්ව සිටියහ.