Tuesday, October 22, 2024
Follow Us
අස්වැසුම නව ප්‍රතිලාභින් ලක්ෂ 04කින් වැඩිකිරීමට අයදුම්පත් කැඳවයි

ලක්ෂ 20 ක් පමණ වූ අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව තවත් ලක්ෂ 04 කින් වැඩිකිරීම සඳහා අයදුම්පත් කැඳවීම පෙබරවාරි මස 10 වන දින පමණ වන විට ආරම්භ කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (01)  මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී විවිධ පාර්ශවවලින් ලද යෝජනා අනුව නිර්ණායක සංශෝධනය කිරීම කෙරෙහි ද අවධානය යොමු වී ඇති බවයි.

පවුල් තෝරා ගැනීමේදී සිදුවූ,  නිර්ණායකවලට බර තැබීමේදී යමෙකුට මෙම වැඩපිළිවෙළට අයදුම් කිරීමට නොහැකි වූයේ නම් එමගින් ඔවුන්ට ද අයදුම් කිරීමට අවස්ථාව උදාවන බව සඳහන් කළ අමාත්‍යවරයා , මේ වන විට අස්වැසුම ප්‍රතිලාභ හිමිවන පරණ ප්‍රතිලාභීන්ට මේ සඳහා අයදුම් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, එම අයදුම්කරුවන් ලබාදුන් තොරතුරු තහවුරු කර ගැනීමට රජය බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

පසුගිය වසරේදී අස්වැසුම ප්‍රතිලාභීන්ට ප්‍රතිලාභ ලබාදීම සඳහා ලෝක බැංකුවෙන් ප්‍රතිපාදන ලබාදුන්න ද , මෙම වසරේ මහා භාණ්ඩාගාරය මගින් ඊට ප්‍රතිපාදන ලබාදෙන බවත්, රුපියල් බිලියන 205 ක මුදල සපයා ගැනීම සඳහා රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම සඳහා වූ සැලසුම් සියල්ල සකස් කර ඇති බවත් සියඹලාපිටිය මහතා මෙහිදී අවධාරණය කළේය.