Tuesday, October 22, 2024
Follow Us
හිස් ප්ලාස්ටික් බෝතල් කිලෝවට රුපියල් 80ක්

හිස් ප්ලාස්ටික් බෝතල් කිලෝවක් රුපියල් අසූවක උපරිම මිලකට ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ඊයේ ( 29) සිට ආරම්භ කෙරිණි.

නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරෙන මෙම වැඩපිළිවෙළ යටතේ අවර්ණ ප්ලාස්ටික් බෝතල් කිලෝවක් රුපියල් අසූවකට ද වර්ණ ප්ලාස්ටික් බෝතල් කිලෝවක් රුපියල් හතළිස් පහ බැගින් ද මිලට ගන්නා බව පරිසරය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම ‘අරුණ‘ට පැවසීය. 

ගම්පහ, කොළඹ, රත්නපුර හා අම්පාර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය. 

මෙම බෝතල් මිලට ගැනීම ආර්ථික සංවර්ධන නිලධාරීන්ට පවරා තිබෙන අතර මහජනතාවගෙන් රුපියල් අසූව බැගින් මිලට ගන්නා බෝතල් කිලෝව ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් රුපියල් සියය බැගින් මිල කෙරේ. එහිදී ලැබෙන රුපියල් විස්සක මුදල ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සුබසාධන අරමුදලට එක් කරන බව සභාපතිවරයා කීවේය. 

මෙම ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය සඳහා වසරකට පෙට් ප්ලාස්ටික් ටොන් එක්දහස් දෙසියක් ආනයනය කෙරෙන අතර ඉන් වසරකට ආපසු එකතු වන්නේ ටොන් තුන්සිය පනහක් යැයි ආංශික අධීක්ෂණ කාරක සභාව අනාවරණය කරගෙන තිබේ. ප්ලාස්ටික් කොසු හා ඉදල් නිෂ්පාදනයට අවශ්‍ය ප්ලාස්ටික් කෙන්ද ද මේ වන විට ආනයනය කරන අතර ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් එය ද නිපදවිය හැකි බවත් සභාපතිවරයා සඳහන් කළේය. ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමේ වැඩපිළිවෙළත් සමග එම කෙඳි ආනයනය තහනම් කිරීමට හැකි වනු ඇතැයි ද ඒ මහතා පැවසීය. 

බෝතල් එකතු කිරීමට අවශ්‍ය බහාලුම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අවශ්‍ය තරම් ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ. පෞද්ගලික අංශය ඒ සඳහා අනුග්‍රහය දක්වයි.

Aruna