Tuesday, October 22, 2024
Follow Us
මහනුවර ව්‍යාපෘතිය ආරම්භ කළ ඇමැතිවරයා මල්වතු පාර්ශවයේ මහා නායකයන් බැහැදකී

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්න සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මල්වතු පාර්ශවයේ මහා නායකයන් බැහැදකී

විසල් මහනුවර සංවර්ධන වැඩසටහන යටතේ, රු. කෝටි 3000ක ලෝක බැංකු ණය ආධාර මත ක්‍රියාත්මක මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්න සංවර්ධන ව්‍යාපෘතියේ (KMTT - kandy multimodale transit terminal) ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමට එක් විය.

එහිදී මේවන විට රට පත්ව ඇති ආර්ථික අර්බුදය හමුවේ කිසිඳු විදේශීය රටකින් ණය ආධාර මුදලක් ලබා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව තිබියදී පවා ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹ ඇති ගිවිසුම් එකඟතා පිළිබඳ අවධානය යොමු කරමින් 2011 වසරේ සිට දශකයකට අධික කාලයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ලැබීම සුවිශේෂී අවස්ථාවක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

එහිදී ලෝක බැංකුව සහ ආසියානු කලාපීය නියෝජිතයින් රට තුළ පවතින ආර්ථික තත්ත්වය සහ ඩොලරයේ අගය ඉහළ යෑම පිළිබඳවද සලකා බලමින් මේ සඳහා වැය කිරීමට සිදුවන සම්පූර්ණ මුදල මේ වන විට වෙන්කර අවසන් බවත් සැලසුම් කළ ආකාරයට වසර දෙකක කාලයක් තුළ මෙහි ඉදිකිරීම් අවසන් කිරීම අමාත්‍යංශයේ සැලසුම බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

දෛනිකව විදෙස් සංචාරකයින්  ඇතුළු අති විශාල ජනතාවක්, සහ රථවාහන අති විශාල ප්‍රමාණයක් ගමනාගමනයේ යෙදෙන රටේ දෙවැනි අගනුවර බඳු මහනුවර නගරය වඩාත් ක්‍රමවත් සහ සැලසුම් සහගතව නවීකරණය කිරීමට කටයුතු කිරීම සහ ඒ පිළිබඳ මූලිකත්වය ගැනීම පිළිබඳව මහානායක ස්වාමීන් වහන්සේ අමාත්‍යවරයා වෙත සිය ප්‍රසාදය පළ කළේය.

මේ අවස්ථාවේ රට තුළ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සහ ගැටලු පිළිබඳ අමාත්‍යවරයා විසින් රචනා කරන ලද "දෙදහස් විසිහතර අයවැය - ආර්ථික විද්‍යාත්මක හෝරාවක් " කෘතියේ පිටපතක්ද ගෞරවනීය මහා නායක ස්වාමීන් වහන්සේ වෙත අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.

අමාත්‍යවරයා ඇතුළු පිරිසට ආශිර්වාද කළ මහානායක ස්වාමීන් වහන්සේ අමාත්‍යවරයා වෙත සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය පුහුණු කළමනාකාර  ෆෙයි ඩෙංග් මහත්මිය සිහිවටන බුද්ධ ප්‍රතිමාවන් දෙකක් පිරිනමන ලදී.

මහනායක හිමියන් බැහැදකීමෙන් අනතුරුව අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගනිමින් දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබාගත් අතර දළදා මාලිගා පරිශ්‍රයේ සංචාරයකටද එක් විය.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය පුහුණු කළමනාකාර  ෆෙයි ඩෙංග් මහත්මිය, ක්‍රමාන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා, මෙරට ලෝක බැංකු ප්‍රධානීන් ඇතුළු නිලධාරින් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.