Tuesday, October 22, 2024
Follow Us
රාජ්‍ය ඇමැතිවරයාගේ මරණයට හේතුව

ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ මරණය, හිසට වම් පාදයට සහ පපුවට සිදු වූ බහුවිධ තුවාල හේතුවෙන් සහ අභ්‍යන්තර ලේ වහනයෙන් සිදු වූ හදිසි මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා තීරණය කර තිබේ.

උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රොමේෂ් අලගියවන්න, විශේෂඥ වෛද්‍ය වියානි ඩයස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ බව රාගම ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සුදර්ශන දිසානායක මහතා ‘දිනමිණට’ පැවසීය.

මරණයට පත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට කිසිදු නිදන්ගත රෝගයක් හෝ වෙනත් කිසිදු රෝගාබාධයක් වැලඳී නොතිබුණු බවට මෙම පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවූ බව ද රාගම ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සුදර්ශන දිසානායක මහතා පැවසීය.

අමාත්‍යවරයාගේ සහෝදරයකු සහ හිතවතකු විසින් දේහය හඳුනාගනු ලැබීමෙන් අනතුරුව ඊයේ (25) පෙරවරු 10ට පමණ ආරම්භ වූ මරණ පරීක්ෂණය පෙරවරු 11.30ට පමණ අවසන් වූ බව ද දිසානායක මහතා පැවසීය.

මියගිය සනත් නිශාන්ත මහතාගේ සහෝදරයාගෙන් සහ හිතවතකුගෙන් ප්‍රකාශ සටහන් කර ගනු ලැබූ බවත් මෙම මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නැති බවට ඔවුන් ප්‍රකාශ කළ බවත් කඳාන පොලිසිය පවසයි. පොලිස් නිලධාරින් ඇතුළු පිරිසකගේ සාක්ෂියද සටහන් කර ගැණිනි.

වැලිසර මහේස්ත්‍රාත් ධම්මික උඩුවේගෙදර මහතාගේ නියෝගයකට අනුව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව වූ පොලිස් කොස්තාපල් ජයකොඩි නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය රාගම ශික්ෂණ රෝහලේදී සිදු කළ බව පොලිසිය සඳහන් කරයි.

අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් කොස්තාපල් ජයකොඩි යන නිලධාරියාගේ මරණ පරීක්ෂණයද ඊයේ (25) රාගම ශික්ෂණ රෝහලේදී සිදු කළ අතර, ඔහුගේ සිරුරේ ඇති වූ බහුවිධ තුවාල හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනයෙන් මෙම මරණය සිදුවූ බවද ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රොමේෂ් අලගියවන්න මහතා සඳහන් කළේය. ඒ බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ දක්වා ඇතැයි ද පොලිසිය පවසයි. එම නිලධාරියාගේ ඥාතීන් ද දේහය හඳුනා ගැනීමෙන් පසු මරණ පරීක්ෂණය සිදු කළ අතර ඔවුන්ගේ ද ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිසිය සඳහන් කරයි.

අමාත්‍යවරයාගේ රියැදුරු මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, සිදුවූ අනතුර සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ නිවෙසට දුරකතන ඇමතුමක් මඟින් දැනුම් දී ඇත්තේ ද මෙම රියැදුරු විසින් බව වාර්තා වෙයි.

අනතුර සිදු වීමෙන් අනතුරුව උතුරු කොළඹ ශික්ෂණ රෝහලට සනත් නිශාන්ත මහතා ඇතුළු තුවාලකරුවන් රැගෙන විත් තිබූ අතර ඒ වන විටත් සනත් නිශාන්ත මහතා හා ආරක්ෂකයා මිය ගොස් තිබිණි.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මෙලෙස මරණයට පත් වූයේ ඊයේ (25) අලුයම 2ට පමණ කටුනායක අධිවේගි මාර්ගයේදී සිදු වූ රිය අනතුරක් හේතුවෙනි.

 

-Dinamina