ලෝවැසි බුදුනුවන්ට මෙන්ම වෙසෙසින් සිරි ලක් දිව් වැසි සැදැහැවතුන්ටද අතිශය වැදගත් වන කරුණු රැසක් යෙදෙන දුරුතු පුර පසළොස්වක් පොහොය අදට යෙදී තිබේ. බුදු රජාණන් වහන්සේ උරුවෙල් දනවුවේ විසූ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යප යන ජටිල සොහොයුරන් ඇතුළු දහසක් පිරිසකට සදහම් මඟ පහදා සසුන්ගත කර, ඒ පිරිසද සමඟ රජගහ නුවරට වැඩම කළේ අද වන් පොහොය දිනකය. ඒ ගමනේදී එනුවර බිම්බිසාර රජු සහ වැසියන් තෙරුවන් සරණ ගිය උවසුවන් බවට පමුණුවාලූ බුදු හිමියන් වෙත සසුනේ ප්‍රථම ආරාම පූජාව ලෙස වේළුවනාරාමයද පුදනු ලැබීය.
අප රට පිළිබඳ සලකන කල බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වී ඇත්තේද දුරුතු පුන් පොහොය දිනකදීය. ඒ මහියංගණයේ මහානාග උයනේදී සිදු වන්නට ගිය යක්ෂ නාග ගෝත්‍රික ගැටුමක් සංසිඳුවනු පිණිසය. ඒ අවසන එහිදී බුදු හිමියන් පැවැත්වූ දම් දෙසුම ඇසුමට පැමිණ සිටි සමන් දෙවියන් පූජා වස්තුවක් ඉල්ලා සිටි විට බුදු හිමියෝ හිස පිරිමැද කේශ ධාතු මිටක් පිරිනැමූහ. සමන් දෙවියෝද බුදු හිමි වැඩ සිට දම් දෙසූ බිමෙහිම සෑයක් බඳවා කේශ ධාතු එහි තැන්පත් කරවූහ.
දුරුතු පොහොයේ වැදගත්කම ඉහළ නංවමින් මෑත ඉතිහාසයට එකතු වූ වැදගත්ම කරුණ ලෙස වසරේ පළමු බුදුනු පෙරහර මංගල්‍යය වන කැලණි රාජමහා විහාරස්ථානයේ දුරුතු මහ පෙරහර හඳුන්වා දිය හැකිය.