Tuesday, October 22, 2024
Follow Us
නේවාසික රෝගීන් ප්‍රතිකාර අවසන්ව නිවෙස් වෙත යාමේ ප්‍රමාදය අවම කිරීමට පියවර 

නේවාසික රෝගීන්ට ප්‍රතිකාර ලබාදී නිවෙස්වෙත යාම සදහා වෛද්‍ය නිර්දේශය ලැබුණු පසු සිදුවන අනවශ්‍ය  ප්‍රමාදය අවම කිරිම පිළිබදව අවධානය යොමු විය යුතු බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය සහ ඇල්පිටිය මුලික රෝහල්වල විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින්.

මෙරට පළාත් සභාව මගින් පාලනය වන මූලික රෝහල්, දිසා රෝහල්, ප්‍රාදේශීය රෝහල්, පර්යන්ත ඒකක ඇතුලු  සෞඛ්‍ය මධ්‍යස්ථානවල පවතින භෞතික මෙන්ම මානව සම්පත්වල අඩුපාඩු, හිඟතාවයන් පිළිබද එම ආයතනවලටම ගොස් සොයා බලා කෙටිකාලීන, මධ්‍යකාලීන මෙන්ම  දීර්ඝකාලීන විසදුම් ලබා දෙමින් ශ්‍රී ලාංකේය ජනතාවට විධිමත් කාර්යක්ෂම, සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදූකරගෙන යනු ලබන විශේෂ වැඩසටහනට සමගාමීව මෙම නිරීක්ෂණය සිදු කරන ලදී.  

හදිසි අනතුරු නිසා ප්‍රතිකාර ගැනිම සඳහා විශාල පිරිසක් රෝහල්වලට ඇතුළත්වන බවත්,  මිලියන 06 වන රෝහල් ගතවීම් අතරින් මිලියනකට හේතු වන්නේ හදිසි අනතුරු බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.  මේ හේතුවෙන් සෞඛ්‍ය අංශයට විශාල පිරිවැයක් දැරිමට සිදුව ඇති බව ද රෝගීන් ප්‍රතිකාර සදහා ඇතුළත් කර ගෙන ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු නොවිමසා සියලු ප්‍රතිකාර ලබාදෙන වෙනත් කිසිදු රටක් ලොව නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී බලපිටිය මූලික රෝහලට අවශ්‍ය  භෞතික සම්පත් සංවර්ධන පිළිබදව අවධානය යොමු කරමින් රෝහලට අත්‍යාවශ්‍ය මල්ටි මොනිටර්, වායුසමීකරණ යන්ත්‍ර, පරිගණක, අල්ට්‍රා සවුන්ඩ් මැෂින්  ඇතුලු වෛද්‍ය උපකරණ මෙන්ම රෝහලේ පින්තාරු කටයුතු සහ සුළු අළුත්වැඩියා කටයුතු සදහා රුපියල් මිලියන 100 ක මුදලක් ද,  ඇල්පිටිය රෝහලට රුපියල් මිලියන 80 ක මුදලක් ද වෙන් කිරිමට තීරණය විය. 

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ විශේෂ සාකච්ජාවක නිරත වෙමින් කාර්ය මණ්ඩලයට පවතින රාජකාරී ගැටලු හා අනෙකුත් ගැටලු පිළිබදව විමසීමට මෙන්ම ඒවාට විසදුම් ලබාදීමටද අමාත්‍යවරයා කටයුතු කළේය