Tuesday, October 22, 2024
Follow Us

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් අභිනවයෙන් ස්ථාපනය කරන ලද පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාශය ( Police CCTV surveillance Division) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

මේ යටතේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන සේවයක් ලෙස කොළඹ නගරය තුළ රථවාහන නීති උල්ලංඝනය සී සී ටී වී තුලින් නිරීක්ෂණය සිදුකරනු ලබයි.

යුරෝපය ඇතුළු ලොව දියුණු රටවල් රාශියක පොලිස් රථවාහන කොට්ඨාශය විසින් භාවිතා කරනු ලබන මෙම නවීන තාක්ෂණික ක්‍රමවේද මෙරට මාර්ග නිරීක්ෂණය සඳහා හඳුන්වාදීම තුළින් වඩාත් කාර්යක්ෂමව පොලිස් රථ වාහන රාජකාරි සිදු කිරීමට හැකිවන අතරම රියදුරන් අතර විනය තවදුරටත් වර්ධනය කිරීමට ද හැකියාව ලැබේ. ඒ සමග කොළඹ නගරයේ බොහෝ ස්ථානවල රථ වාහන පොලිස් නිලධාරින් භෞතිකව රාජකාරිය නිරතවීම අවම වනු ඇත.

හිටපු පොලිස්පතිවරයකු වන මහින්ද බලසූරිය මහතාගේ නිල කාලය තුළ ආරම්භ වී ඇති සීසීටීවී කැමරා පද්ධතිය දශක කිහිපයක් තුළ කොළඹ තුළ ස්ථාපිත කොට තිබුණ නමුත් ඉන් ඵලදායි සේවයක් මෙතෙක් ලබාගෙන නැත. දැනට පැය අටක සේවා මුරයක් තුළ රථවාහන පොලිස් නිලධාරියකු විසින් භෞතිකව ලබාගන්නා රථවාහන වැරදි ප්‍රමාණය පහක් හයක් පමණ වේ. නමුත් එම ස්ථානයේම ස්ථාපිත කළ හැකි ඇති සීසීටීවී කැමරාවක් තුළින් තුන්සියයකට අධික වැරදි ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබී ඇත. ඊට හේතුව පොලිස් නිලධාරීන් විසින් රථ වාහන තදබදය අවම කිරීම සඳහා රථවාහන හැසිරවීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමයි.

සිසිටීවී තාක්ෂණය රථ වාහන පොලිසිය හා සබැඳිව යොදා ගැනීම උදෙසා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඍජු සබඳතාවයක් පොලිස් දෙපාර්තමේන්තු සමග පවත්වයි. ඒ අනුව නිරීක්ෂණය කරන වාහනවල නීත්‍යානුකූල ලියාපදිංචිය, හිමිකරුවන් ආදී තොරතුරු ඉතාමත් කෙටි කාලයක් තුළ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා ලබා ගැනීමට පොලිස් සීසීටීවී කොට්ඨාශය වෙත අවස්ථාව හිමිවේ.ඒ අනුව කොළඹින් බැහැර ප්‍රදේශයක ලියාපදිංචි රථයක් මගින් සිදු කරන රථවාහන වරදක් පිළිබඳව වුවද අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය හරහා එහි හිමිකරු දැනුවත් කිරීමට පොලිස් සී සී ටී වී කොට්ඨාශයට හැකියාව ඇත. ඒ තුළින් වඩාත් මහජන මිත්‍රශීලීසේවාවක් ලබාදීම පොලිස් දෙපාර්තමේන්තුවේ අරමුණයි.

එසේම මෙම සේවාව ආරම්භ කරන ජනවාරි විසි දෙවැනි දා සිට සතියක කාලයක් ඒ පිළිබඳව දැනුවත් වීම සහ ඒ වෙත හැඩගැසීම සඳහා සඳහා ජනතාවට අවස්ථාව ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ. ඒ අනුව අදාළ සතියක කාලය තුළ සී සීටී වි පද්ධතිය හරහා නිරීක්ෂණය කරන රථවාහන වැරදි සඳහා අවවාද පත්‍රිකාවක් නිකුත් කෙරෙනු ඇත. ඒ තුළින් නීතිගරුකව රිය පැදවීම සඳහා මහජනතාව දිරිමත් කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ අරමුණයි.