Tuesday, October 22, 2024
Follow Us
අපනයන විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන්  වැඩමුළු මාලාවක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා විසිතුරු මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමය (The Association of Live Tropical Fish Exporters of Sri Lanka) සහ ශ්‍රී ලංකා විසිතුරු මත්ස්‍ය වගාකරුවන්ගේ සංගමය සමඟ එක්ව, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය උදෙසා සංවිධානය  කරන වැඩමුළු මාලාවේ මූලික අදියර පසුගියදා රුහුණ විශ්වවිද්‍යාලය සමඟ එක්ව පැවැත්වුණි. 

මෙහි ප්‍රධාන අරමුණ වූයේ ගුණාත්මක විසිතුරු මත්ස්‍ය අපනයන ධාරිතාව වැඩි දියුණු කිරීම උදෙසා බිම් මට්ටමේ සිට අපනයනකරුවන්ගේ හැකියාවන් ඉහළ නැංවීමයි. 

වැඩමුළුවේ මූලික අදියර රුහුණ විශ්වවිද්‍යාලයෙන් ඇරඹී, ඉන් අනතුරුව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, වයඹ විශ්වවිද්‍යාලය ඇතුළු ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල  වෙත ද ප්‍රවේශ වීම සිදුවේ. 

තෝරාගත් පර්යේෂණාත්මක සොයාගැනීම් පිළිබඳ සාකච්ඡා කරමින් පුරා දිනක් පැවැත්වූ මෙම වැඩසටහනේදී, සජීවී ආහාර නිෂ්පාදනය, ගොවිපොළ කළමනාකරණ පිළිවෙත් (BMPs), අධි ඝනත්ව ඇසුරුම්කරණය, ජලජ පැලෑටි, ටැංකි අලංකරණය (Aquascaping) සහ අපනයන ක්‍රියාපටිපාටි පිළිබඳ අවබෝධය ලබාදීම යනාදී වැදගත් මාතෘකා ගණනාවක් ආවරණය කෙරිණි. 

ප්‍රමිතියෙන් යුත් මිරිදිය මත්ස්‍යයන් සහ කරදිය මත්ස්‍ය විශේෂ අපනයනය උදෙසා, ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳපොළ තුළ ඉහළ පිළිගැනීමක් ඇති අතර 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ඇමරිකානු ඩොලර් මිලියන 22ක ආකර්ෂණීය වාර්ෂික අපනයන ආදායමක් ලබා තිබේ. 

සමස්ත නිෂ්පාදනයෙන් 70%ක් මිරිදිය මත්ස්‍ය විශේෂවලින් සමන්විත වන අතර, වර්තමාන ගෝලීය වෙළෙඳපොළ ඉල්ලීම් සහ ප්‍රමිතීන් සපුරාලීම සඳහා නිෂ්පාදනය පුළුල් කිරීම සහ තත්ත්ව ප්‍රමිතීන් ඉහළ නැංවීමේ වැදගත්කම කර්මාන්තයේ උන්නතියට අභියෝගයක්ව පවතියි. 

ලංකාවේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය මත්ස්‍යයින් අභිජනනකරුවන්, වගා කරන්නන්, එකතු කරන්නන්, මත්ස්‍ය ආහාර නිෂ්පාදකයන්, ප්‍රතිඅපනයනකරුවන් සහ අපනයනකරුවන් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත වේ.

මෙම කර්මාන්තය මුහුණ දෙන අභියෝග අතර මූලික දැනුමේ ඌනතාවය, නිෂ්පාදනවල අඩු ගුණාත්මක බව සහ ප්‍රමාණවත් මත්ස්‍ය ආහාර සැපයුම් නොමැති වීම බහුල වශයෙන් දක්නට ලැබේ. කර්මාන්තයේ වර්ධනය සඳහා මෙම අභියෝග ජය ගැනීම අත්‍යවශ්‍ය වන අතර, පාර්ශ්වකරුවන්ට තරගකාරී ජාත්‍යන්තර වෙළඳපොළට ඇතුළු වීමට සහ දියුණුව කරා පා නැගීමට හැකි වන පරිදි අවශ්‍ය සහය හා මගපෙන්වීම ලබා දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.