Tuesday, October 22, 2024
Follow Us
පාර්ලිමේන්තු මහලේකම්වරියගෙන් නිවේදනයක්
පාර්ලිමේන්තුව තුළ සේවිකාවන්ට මෙන්ම ඇතැම් මන්ත්රීවරියන්ට ලිංගික හිංසන නිරන්තරයෙන් සිදුවන බවටත් ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පැවැත්වීමට සහ පියවර ගැනීම සිදු නොකරන බවටත් පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්ය බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිවේදනය කර සිටියි.

පාර්ලිමේන්තුව තුළ විනය කඩකිරීම්වලට අදාළ සිදුවීම් වාර්තාවීමේදී ඊට අදාළ විමර්ශන කටයුතු ගරු කථානායකවරයාගේ මගපෙන්වීමෙන් ඉතා අපක්ෂපාතීව පැවැත්වෙන බවත් කඩිනම් විමර්ශන සදහා ගරු කථානායකවරයා සිය උපරිම දායකත්වය ලබා දීම මිස කිසිදු අයුරකින් බාධා කිරීමක් හෝ බලපෑමක් සිදු නොකළ බවත් රෝහණදීර මහත්මිය අවධාරණය කර සිටියාය.

මීට පෙර එක් අවස්ථාවකදී සේවිකාවන් කිහිප දෙනෙකුට ලිංගික හිරිහැර සිදුවූවා යැයි පැවසෙන සිද්ධියක් වාර්තා වුවද ඒ සම්බන්ධයෙන් පත්කළ අභ්යන්තර කමිටුව විසින් ඉතා අපක්ෂපාති විමර්ශනයක් සිදුකර එහි විමර්ශන වාර්තාව මේ වන විට තමාවෙත භාරදී ඇති බව මහලේකම්වරිය පැවසීය. එසේම ඊට සම්බන්ධ යැයි සැකකෙරෙන ප්රධාන නිලධාරියා මේවන විට වැඩ තහනමකට ලක්ව ඇති බවත් මේ අනුව ඊට අදාළ ඉදිරි පියවර කඩිනමින් ගැනීමට නියමිත බවත් ඇය පෙන්වා දුන්නාය. එසේම මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කොට නීතිය ක්රියාත්මක කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවත් මහලේකම්වරිය පැවසීය.
 
මෙම හිංසන සම්බන්ධයෙන් ගරු විපක්ෂනායකවරයාට ලිපියක් මගින් දැනුම් දුන්න ද ඊට නිසි ක්රියාමාර්ග නොගත් බවට පළවන වාර්තා ද සම්පූර්ණයෙන් අසත්ය බවත් එවැනි ලිපියක් ගරු විපක්ෂ නායකවරයාට මේ වන තෙක් ලැබී නොමැති බවට විපක්ෂ නායක කාර්යාලය තහවුරු කර ඇති බව මහලේකම්වරිය වැඩිදුරටත් ප්රකාශ කළාය.
 
පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ ප්රධානියා ලෙස මහලේකම්ධුරය කාන්තාවක් වන තමා දරන්නේ ද, පාර්ලිමේන්තුවේ අංශ ගණනාවක ප්රධානීන් ලෙස කටයුතු කිරීමට කාන්තාවන්ට අවස්ථාව හිමිව ඇත්තේද පාර්ලිමේන්තුව තුළ කාන්තාවන්ට සිය රාජකාරි කිසිදු බලපෑමකින් හෝ හිංසනයකින් තොරව ඉටුකිරීමට හැකි පරිසරයක් හා සංස්කෘතියක් පවතින බැවින් යැයි ද මහලේකම්වරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.
 
මෙවැනි තත්ත්වයක් තුළ, ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සහ ගරු කථානායකවරයාගේ කීර්තිනාමයට හානිවන පරිදි මුළුමනින්ම අසත්ය, ගොතන ලද පදනම් විරහිත තොරතුරු පළ කිරීම සම්බන්ධයෙන් අතිශයින් කණගාටුව ප්රකාශ කරන බවත් එවැනි පළ කිරීම් පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් මහලේකම්වරිය වැඩිදුරටත් ප්රකාශ කර සිටියි.