Tuesday, October 22, 2024
Follow Us
“සුව උදාන” පළමු ජංගම සෞඛ්‍ය සායනය ගාල්ලේදී

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙරට ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ කර ගනිමින් දිවයින පුරා පවත්වනු ලබන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ඊයේ (20) ගාල්ල , ඇත්කඳුර සීවලී මහා විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි .

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද මෙම ජංගම සෞඛ්‍ය සායනය 2024 වර්ෂයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පවත්වනු ලබන පළමු ජංගම සෞඛ්‍ය සායනය වන අතර මෙහිදී එක් එක් සායනය වෙත ගොස් වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම පැමිණි සිටි ජනතාව සමගද සුහද කතාබහක අමාත්‍යවරයා නිරත විය.

අද දිනය පුරා පවත්වනු ලබන මෙම ජංගම සෞඛ්‍ය සායනය මගින්, දන්ත වෛද්‍ය සායනය, ජංගම රසායානාගාර සේවා, අක්ෂි සායනය, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ මේද මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීම, රුධිර පිඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද සායනය, වකුගඩු සායනය, බෝ නොවන රෝග පිළිබද සායනය , සර්වාංග සායනය සහ චීන කටු චිකිත්සාව ඇතුලු බොහෝ සේවාවන් සපයනු ඇත.

කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සියයකට අධික සහභාගීත්වයකින් පැවැත්වෙන මෙම සායනයෙන් ප්‍රථිකාර සේවාවන් ලබාගැනිම සදහා ඇත්කදුර, දිවිතුර, තනබද්දේගම, පොල්ගහවිල, පරණ ජනපදය, අබේගම සහ ගුරුසිංහගොඩ වැනි ගම්මාන වල විශාල ජනතාවක් සහභාගී වී සිටි අතර අද දිනය තුළ දහසකට අධික ජනතාවක් සේවා ලබාගැනීමට පැමිණෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අපේක්ෂා කරයි .

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ .....

වත්මන් රජය විසින් අසීරු කාලවකවානුවක් තුල වුව ද දුෂ්කර ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය සම්පන්නභාවයේ ආරක්ෂණය වෙනුවෙන් මෙවැනි වැඩසටහන් නොකඩවා ක්‍රියාත්මක කරන බවත්, මෙරට ජනතාව නීරෝගිමත් ජාතියක් බවට පත් කිරීම තමන් ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන අරමුණ බවය.

නොමිලේ පවත්වනු ලබන මෙවැනි ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන් වලට සම්බන්ධ වී එහි ප්‍රතිඵල උපරිමයෙන් ලබා ගැනීමට කටයුතු කිරිම ජනතාවගේ වගකීමක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා රෝග කල්තියා හදුනා ගැනීම, ප්‍රතිකාර සේවා ලබාදීම, නිදන්ගත රෝග වලින් පෙළෙන රෝගීන් හදුනා ගැනීම, වැඩිදුර ප්‍රතිකාර සදහා ප්‍රධාන රෝහල් වල සායන වලට යොමු කිරිම සහ රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් මෙන්ම සෞඛ්‍ය අධ්‍යාපනයද ලබාදිම මෙම “සුව උදාන” ජංගම වෛද්‍ය සායන තුලින් සිදු කරන සේවාවන් බව පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට ඇත්කදුර සීවලී මහා විද්‍යාලයේ විදුහල්පති පූජ්‍ය ශ්‍රාස්ත්‍රපති ගල්හේන්කන්දේ විමලදේව ස්වාමීන්වහන්සේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) යු.ඒ.එච්.එස් සිසිර කුමාර, වැලිවිට දිවිතුර ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් රසික කුමාර, වැලිවිට දිවිතුර ප්‍රාදේශීය සභාවේ ලේකම් සමිර ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්, සෞඛ්‍ය අංශ නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩල, ප්‍රජා සංවිධාන නියෝජිතයින්, ප්‍රදේශීය දේශපාලන නායකයින් එක්ව සිටියහ.