Tuesday, October 22, 2024
Follow Us
රු.මි. 1626 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව,  දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් හැට පහකට අධික තොගයක්  ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ ඊට සහය වූ බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් එකොළොස් දෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.

මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් පිටු දැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම‍ උදෙසා මෙරට සාගර කලාපය ආවරණය වන පරිදි ඉතා අවධානයෙන් යුතුව ආවේක්‍ෂණ කටයුතු සිදුකරනු ලබන නාවික හමුදාව, ඒ සඳහා මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, බුද්ධි සේවාවන් හා එක්ව, දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 100 ක් පමණ දුරින් වූ දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ මෙහෙයුමේදී, ඊයේ(19) උදෑසන එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් පරික්ෂා කෙරිණි. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාව තුළ සූක්ෂම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කල  හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 65 ග්‍රෑම් 076 ක පමණ තොගයක් සහිත උර තුනක් සමඟ එම බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට  ගැනීමට කටයුතු කෙරිණි. එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු ද එහිදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් අතර, එලෙස අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රා‍ දෙක සැකකරුවන් එකොළොස් දෙනා සහ මත්ද්‍රව්‍ය කිලෝ 65 ග්‍රෑම් 076 ක පමණ තොගය අද  උදෑසන මෙලෙස ඉදිරි නීතිමය කටයුතු සඳහා  ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 1626 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

එමෙන්ම, මෙම මෙහෙයුමත් සමඟ විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය පිටු දැකීම සඳහා ස්ථාපිත ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ නායකත්වය හා මඟ පෙන්වීම මත, 2024 වර්ෂයේ ජනවාරි මාසය තුළ සිදුකල මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් පමණක් රුපියල් මිලියන 4800 කට අධික වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට සමත්ව ඇත.

තවද, ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන සහ ඒ සඳහා අනුබල දෙන පුද්ගලයන් පිලිබඳ තොරතුරු නාවික හමුදාව වෙත සහ මෙරට නීතිය බලාත්මක කරනු ලබන ආයතනයන් වෙත ලබාදී, රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනීම සඳහා සහය වන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කර සිටියි.