Tuesday, October 22, 2024
Follow Us
මාස 09 සිට අවුරුදු 15 දක්වා සරම්ප එන්නත් ලබානොගත් අයට ලබා ගැනීමට අවස්ථාවක්

මෙතෙක් සරම්ප එන්නත ලබානොගත් මාස 09 සිට අවුරුදු 15 දක්වා කණ්ඩායම සඳහා සරම්ප එන්නත ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. එම්. ආර්නෝල්ඩ් මහතා පවසයි.

මහජන සෞඛ්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ පසුගියදා (17) මාස 06-09 අතර දරුවන් සඳහා අමතර සරම්ප මාත්‍රාවක් ලබාදීමේ ජාතික වැඩසටහන සඳහා ආවරණය වැඩිකර ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙහි පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මාස 06-09 අතර සරම්ප එන්නත් ලබාගැනීමට නොහැකි වූ දරුවන්ටද මෙලෙසම ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් එන්නත ලබාගත හැකි බව පැවසූ විශේෂඥ වෛද්‍ය එස්. එම්. ආර්නෝල්ඩ් මහතා මෙලෙස සරම්ප එන්නත ලබානොගත් පිරිසක් සේම අනෙකුත් රෝග සඳහා එන්නත් ලබානොගත් කාණ්ඩයක්ද සිටිය හැකි බව අවධාරණය කළේය.

මේ නිසා දැනට ලංකාවෙන් තුරන් කර ඇති ගලපටලය, කක්කල් කැස්ස වැනි අනෙකුත් රෝග පැතිරයාමේ අවධානමක් පවතින බවද, එලෙස එම රෝග සඳහා එන්නත් ලබා නොගත් පුද්ගලයින්ට මෙම අවස්ථාවේ එන්නත් ලබාගැනීමට පසුවිපරමක් ලබාදෙන බවද සඳහන් කළේය.

ළමයින් සඳහා ලබාදෙන එන්නත්කරණය අනිවාර්යයෙන්ම සිදුකරගැනීමේ වැදගත්කම මෙහිදී විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.