Tuesday, October 22, 2024
Follow Us
ව්‍යායාම කිරීමේදි දහඩිය දැමීම අනිවාර්යෙන්ම නැහැ

ව්‍යායාම කිරීමේදි දහඩිය දැමීම අනිවාර්යෙන්ම සිදුවන්න ඕන යැයි කීම දුර්මතයක් බව ව්‍යායාම සහ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චතුරංග රණසිංහ පවසයි.

ඊයේ (18) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ව්‍යායාම සිදුකිරීම සහ ක්‍රීඩාව සම්බන්ධයෙන් පැවති සාකච්ජාවකදී මහාචාර්යවරයා මේ පිළිබඳව පැහැදිලි කරමින් කියා සිටියේ ව්‍යායාම සිදුකිරීම ක්‍රමානුකූලව සහ පියවරෙන් පියවර සිදුකළ යුතු බවය.

වායු සමීකරණය කර ඇති ස්ථානවල ව්‍යායාම සිදුකිරීමේදී අධික ලෙස දහඩිය දැමීමක් සිදු නොවන බවත් පැවසූ මහාචාර්යවරයා ප්‍රකාශ කළේ සාමාන්‍යයෙන් ව්‍යායාම සිදුකිරීමට පෙර සහ ව්‍යායාම සිදුකිරීමෙන් පසු ජලය පානය කිරීම ඉතා වැදගත් බවය.

එසේම ව්‍යායාම සිදු කිරීම ආරම්භ කිරීමේදී අඩු වේගයකින් ව්‍යායාම කළ යුතු බවත්, පසුව ක්‍රමානුකුලව පියවරෙන් පියවර වෙනස් ව්‍යායාම සිදුකළ යුතු බවද මහාචාර්යවරයා පැවසීය.

එසේ නොවන අවස්ථාවලදී විජලනයට පත්වීම සිදුවන බවත්, මූත්‍රා පිට කිරීමේදී එහි පැහැයෙන් විජලනයට පත්වී ඇත්දැයි හඳුනාගැනීමට හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

 නිරෝගී පුද්ගලයෙකු විනාඩි තුන්සියයක් පමණ දෛනිකව ව්‍යායාම සිදුකිරීම වැදගත් බවත් කුඩා ළමුන් විනාඩි හැටක පමණ කාලයක් ව්‍යායාම කළ යුතු බවද මහාචාර්යවරයා මෙහිදී පැවසීය.

-Aruna