Tuesday, October 22, 2024
Follow Us
කුළුබඩු  අවම මිලට රජයේ  නිෂ්පාදන අලෙවි මණ්ඩලයෙන්

දැනට වෙළෙද පලේ ඉහළ මිලකට අලෙවි වන ආහාර ද්‍රව්‍ය රැසක් අවම මිල ගණන් යටතේ පාරිභෝගික ජනතාවට ලබා දීමට රජයට අයත් කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ.

ඊයේ දින (17) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා බත්තරමුල්ල පිහිටි කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ අලෙවි මධ්‍යස්ථානය හා ප්‍රධාන කාර්යාලයේ කටයුතු නිරීක්ෂණය කළේය.

දැනට වෙළෙදපොලේ සියලුම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දමා තිබුනත් සංස්ථා නිෂ්පාදන නාමය යටතේ කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන  අලෙවි මණ්ඩලය විසින් අලෙවි කරනු ලබන කිසිදු ආහාර ද්‍රව්‍යක මිල අයුතු ලෙස ඉහළ දමා නැති බවත්, තත්ත්වයෙන් උසස් නිෂ්පාදන රැසක් අවම මිලක් යටතේ අලෙවි කිරීමට පියවර ගෙන ඇති බවත් කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපතිනි කුමුදිනි ගුණසේකර මහත්මිය පැවසුවාය.


මේ වනවිට රටේ ජනතාවට ජීවන වියදම් ඉහළ යාම දැඩිව දැනෙමින් පවතින අවස්ථාවක මිරිස්, තුනපහ, ඇතුළු සියලු කුළුබඩු අඩු මිලට ලබා දීමට පියවර ගැනීම ඉතා හොඳ බවත් ඒ සඳහා පියවර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා එම මණ්ඩලයේ කළමනාකාරිත්වයට කෘතතාවයපළ කළේය.
මේ අතර දරුවන්ගේ හා මව්වරුන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත නිෂ්පාදනය කර ඇති කලින් පිසින ලද ධාන්‍යමය අතිරේක පෝෂණ අතිරේකයක් හඳුන්වා දීම ද සිදු කෙරිනි.


එම පෝෂණ අතිරේකය සභාපති කුමුදිනි ගුණසේකර මහත්මිය විසින් අමාත්‍යවරයා වෙත හඳුන්වා දීම සිදු කළේය.


මෙම පෝෂණ අතිරේකය සඳහා ඛනිජ, ලවණ හා විටමින් වර්ග රැසක් අන්තර්ගත කර ඇති අතර දරුවන්ට හා මව්වරුන්ට පහසුවෙන් ආහාරයට ගැනීමට හැකි වන පරිදි සකස් කර තිබේ.
මෙම කළින් පිසින ලද ධාන්‍යමය පෝෂණ අතිරේකය මගින් සිරුරට අවශ්‍ය පෝෂණ පදාර්ථ රැසක් අන්තර්ගතවන අතර දේශීය ආහාර ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් මෙය නිෂ්පාදනය කර ඇතිබව ද සභාපතිනිය පැවසුවාය.
දැනට මෙම මණ්ඩලයට අයත් අලෙවි සැල් 32ක් පවතින අතර එම සියලුම අලෙවි සැල්වලින් මෙම පහසුකම් ලබා ගැනීමට හැකි බව ද ඇය පැවසුවාය.