Tuesday, October 22, 2024
Follow Us

දරුවන්ගේ ජීවිත ජයග්‍රහණය කිරීමට තිබෙන එකම මාර්ගය අධ්‍යාපනය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අවධාරණය කළේය.

අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කිරීම තුළින් දැනුම්වත් පුරවැසියකු රටට බිහිවන බවත් එය රටේ සාර්ථකත්වයට සෘජුව බලපාන බවත් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මේ බව සඳහන් කර සිටියේ නවගත්තේගම කෝන්කඩවල විද්‍යාලයට අංග සම්පූර්ණ පුස්තකාලයක් ලබාදීම වෙනුවෙන් පසුගිය (15)දා පැවති උත්සවයට එක්වෙමිනි.

චීන මූල්‍යාධාර යටතේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මඟපෙන්වීම අනුව ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් නවගත්තේගම කෝන්කඩවල විද්‍යාලයට හා මීගමුව දූව කනිෂ්ඨ විද්‍යාලයට අංග සම්පූර්ණ පුස්තකාල දෙකක් ලබාදීමට කටයුතු කෙරිණි.

එක් පුස්තකාලයක් සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන දෙකක් වන අතර 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පොත්පත් රාශියක් මෙම පුස්තකාලවලට ඇතුළත්ය.

ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ සිය අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබන ග්‍රාමීය සිසු දරුවන්ට අත්වැලක් වෙමින් දැනුමෙන් පෝෂිත අනාගත පරපුරක් බිහි කිරීම මඟින් රටේ ඉදිරි අනාගතය සාර්ථකත්වය කරා ගෙන යාම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.