Tuesday, October 22, 2024
Follow Us
රත්නපුරය Zero Plastic ආදර්ශ දිස්ත්‍රික්කයක් ලෙස නම් කෙරේ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ, පරිසරය ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් රත්නපුර දිස්ත්‍රික්කය Zero Plastic ආදර්ශ දිස්ත්‍රික්කයක් ලෙස නම්කිරීමට යෝජනා කර ඇත.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය හා අනෙකුත් අදාළ රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන ආයතනවල සහභාගීත්වයෙන් රත්නපුර දිස්ත්‍රික්කය සඳහා යෝජිත සැසැස්මක් සකස්කර ගැනීමේ මූලික සාකච්ඡාවක් රත්නපුර දිස්ත්‍රික් ලේකම්/ දිසාපති වසන්ත ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

මෙම වැඩසටහන රත්නපුර දිස්ත්‍රික් අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) ලලිත් බඹරබොටුව මහතා ඇතුළු දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අංශය විසින් සම්බන්ධීකරණය කරන ලදී.

මෙහි දී අදහස් දැක්වූ රත්නපුර දිස්ත්‍රික් ලේකම්/ දිසාපති වසන්ත ගුණරත්න මහතා සඳහන් කළේ ජල උල්පත්, ඇළ, දොළ ගංගා මෙන්ම මනරම් දියඇලිවලින් සුපෝෂිත සුවිශේෂී භූගෝලීය පිහිටීමකින් මෙන්ම මනරම් පරිසරයකින් සමන්විත රත්නපුර දිස්ත්‍රික්කය මෙම වැඩසටහන සඳහා තෝරාගැනීම පිළිබඳ තමා පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවට බෙහෙවින්ම ස්තූතිවන්ත වන බවයි.

මෙම වැඩසටහනේ යෝජිත සැලැස්ම සකස්කර ගැනීමේ මූලික සාකච්ඡාවට පරිසර, අධ්‍යාපන, සෞඛ්‍ය පොලීසිය, පළාත් පාලන, රාජ්‍ය නොවන සංවිධාන හා පෞද්ගලික අංශය ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ආයතන ප්‍රධානීහු, රාජ්‍ය නිලධාරීහු, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයෝ ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එමෙන්ම මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ගයානි අයි. කරුණාරත්න, අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) ලලිත් බඹරබොටුව, නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්‍රමසම්පාදන අනුරුද්ධ බණ්ඩාර, සබරගමුව පළාත් සහකාර අධ්‍යක්ෂ (මධ්‍යම පරිසර අධිකාරිය) ඩබ්ලිව්.වී. වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.