Tuesday, October 22, 2024
Follow Us
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලයන් අතර සහයෝගිතා රාමුවකට අත්සන් තැබේ

ජාත්‍යන්තර සාධාරණ වෙළඳාම ඉදිරියට ගෙන යාම සහ ජාත්‍යන්තර සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා වූ වැදගත් පියවරක් ලෙස, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලයන් සමඟ සහයෝගීතා රාමුවට ((Framework of Cooperation – FOC)) නිල වශයෙන් අත්සන් කිරීම පසුගියදා කොළඹ දී සිදුවිය .

කොළඹ පැවති මෙම අත්සන් තැබීමේ උත්සවයේදී ප්‍රධාන සාධාරණ වෙළඳ සංවිධාන සහ සහායක ආයතනවල නියෝජිතයෝ  සහභාගී වූහ.

ශ්‍රී ලංකාව තුළ සාධාරණ වෙළඳ ජාල සහ අදාළ ආයතන අතර සබඳතා ශක්තිමත් කිරීම සහ වැඩිදියුණු කිරීම සහයෝගීතා රාමුවෙහි මූලික අරමුණ වේ. එය ශ්‍රී ලංකාවෙන් ගෝලීය වෙළඳපොලට සාධාරණ වෙළඳ භාණ්ඩවල සංවර්ධනය, විවිධාංගීකරණය සහ පුළුල් වෙළඳපල ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරයි. නුදුරු අනාගතයේ දී සහාය දක්වන ආයතන සමඟ සහයෝගීව පුළුල් ක්‍රියාකාරී සැලසුම් බවට තවදුරටත් සංවර්ධනය කෙරෙන බහුවිධ අරමුණු සහ අදාළ ක්‍රියාකාරකම් සහයෝගීතා රාමුව තුළ දක්වා ඇත.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍ර‍ධාන විධායක නිලධාරී ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා, සාධාරණ වෙළඳාම පිළිබඳ ශ්‍රී ලංකාවේ ආසියා සහ පැසිෆික් නිෂ්පාදකයින්ගේ ජාලයේ සභාපති ආර්. ඥානසේකරන් මහතා සහ  WFTO ශ්‍රී ලංකා සභාපති ටී. ප්‍රනාන්දු මහතා සහයෝගීතා රාමුවට අත්සන් කිරීම සිදු කළහ.

ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලය (Fair Trade International) යනු වෙළඳ ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදා හැරීම ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වූ ගෝලීය ජාලයකි. මෙමගින් ප්‍රමිති ක්‍රියාත්මක කිරීම, සහතික කිරීමේ ක්‍රියාවලීන්, නිෂ්පාදකයින් සඳහා උපකාරක වැඩසටහන් සහ උපදේශන උත්සාහයන් ළඟා කර ගැනීම අපේක්ෂා කරයි. Fairtrade Advocacy Office (FTAO), Fair Trade Network of Asia & Pacific Producers (Fairtrade NAPP), Fair Trade NAPP-Sri Lanka (FNSL), සහ World Fair Trade Organization-Asia (WFTO-Asia) වැනි සහයෝගීතා සංවිධාන ගෝලීය වෙළඳපොළ ජාලය තුළ හවුල්කරුවන් ලෙස ක්‍රියා කරයි.

මෙම සාධාරණ වෙළඳ ප්‍රමිතීන් වෙළඳ සබඳතාවල බල අසමතුලිතතාවයන්, අස්ථාවර වෙළඳපල (volatile markets) සහ සාම්ප්‍රදායික වෙළඳාමේ අසමානතා ආමන්ත්‍රණය කිරීමෙන් ගොවි සහ කම්කරු ප්‍රජාවන් සවිබල ගැන්වීම අරමුණු කරයි. එසේ කිරීමෙන් ගොවීන්ට තම භාණ්ඩ සඳහා වඩා හොඳ මිලක් ලබා ගත හැකිය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම ප්‍රවේශය රටට විදේශ විනිමය ආදායම ඉහළ නැංවීමට දායක වන අතර ශ්‍රී ලංකාවේ ගොවීන්ගේ සහ කම්කරුවන්ගේ සමාජ-ආර්ථික සංවර්ධනය පෝෂණය කරයි.

කුඩා පරිමාණ නිෂ්පාදක සංවිධාන (SsPOs) 25 කට වඩා සාධාරණ වෙළඳාම පිළිබඳ සහතිකය ලබා ඇති අතර තේ, කුළුබඩු, පලතුරු සහ එළවළු, පොල් ආශ්‍රිත ද්‍රව්‍ය, මල් වගාව, හස්ත කර්මාන්ත, සෙල්ලම් බඩු, සහ අතින් සාදන ලද විවිධ නිෂ්පාදන වැනි නිෂ්පාදන දැනට Fair Trade සහ WFTO ලේබල් සමඟ ගෝලීය වෙළඳපොළට ඉදිරිපත් කෙරේ.

ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලයන් සමඟ සහයෝගීතා රාමුව අත්සන් කිරීම ශ්‍රී ලංකාව තුළ සාධාරණ වෙළඳ පරිචයන් ජය ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක වන මුලපිරීම්වල කැපී පෙනෙන ඉදිරි පියවරක් සනිටුහන් කරයි.