Tuesday, October 22, 2024
Follow Us
තෛපොංගල් දිනය අදයි

සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයින් සුර්ය දෙවියන් නමදින තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ.

ලෝකවාසී හින්දු භක්තිකයෝ මෙම උත්සවය හරසරින් සමරති.

අස්වනු කපා වියළා ගන්නට උචිත යහපත් කාලගුණයක් සලසාදීම වෙනුවෙන් සූර්යයාට අස්වැන්නේ මුල් කොටස පිදීමටත්, ගව මහිෂාදී සත්ත්ව සමූහයා වෙත කෘතගුණ සැලකීමත් අරමුණු කරගෙන මෙම උත්සවය පැවැත්වේ. 
 
තෛපොංගල් දිනයේදී ප්‍රධාන වශයෙන් සූර්යයා වන්දනාමාන කරනු ලබයි. ' තායි ' නම් දෙමළ මාසයේ පළමුවන දිනය හදුන්වනු ලබන්නේ ' පොංගල් ' නමිනි.
 
තෛපොංගල් උත්සවය තවත් නව වසරක් සඳහා සූර්යය භ්‍රමණයේ ආරම්භය සනිටුහන් කරයි. මෙම දිනයේදී සූර්ය දිව්‍ය රාජයා ගමන් කිරීම දකුණු දිග් භාගයේ අවසානය වන ' මකරම්' තෙක්ම සිදුවන නිසා මෙම තෛපොංගල් උත්සවය ' මකර සංක්‍රාන්තිය' ලෙසින්ද හැදින්වෙයි. තෛපොංගල් දිනයේදී නිවෙස් පිරිසිදු කොට සැරසිලි කොට ' පොන්ගල් පානෙයි' මුට්ටියක එළිමහනෙක 'පොංගල් බත 'උයති.එම පොංගල් ප්‍රථමයෙන් හිරු දෙවියන්ට පූජා කරති. පොංගල් දිනයෙන් පසු 'මුතු පොංගල් දිනය' මෙන්ම ' කරිනාල් ' නම් වූ දිනයද උදාවෙයි. 
 
පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ උතුරා යාම නැතිනම් පිටාර ගැලීමයි... මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස හින්දු ජනතාව සලකයි.... හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සූර්ය දෙවියන්ට පූජා කිරිම මෙම සූර්ය මංගල දිනයේදී සිදුකරනු ලබයි. වසර 2000 කට වඩා පැරණි මෙම තෛපොංගල් උත්සවය සෞභාග්‍යය හා ස්තූති කිරිම හා බැඳී පවතී.