Wednesday, October 23, 2024
Follow Us
විදෙස් ආධාර ඔස්සේ ප්‍රධාන පාරිසරික ව්‍යාපෘති හයක්

රුපියල් මිලියන 337ක විදෙස් ආධාර යටතේ ප්‍රධාන පාරිසරික ව්‍යාපෘති හයක් ඔස්සේ මෙම වසරේදී මෙරට පාරිසරික ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. 

මෙයට අමතරව මෙවර අයවැය හරහා රුපියල් මිලියන 145 ක මුදලක් ද  දේශීය ආධාර ලෙස  මෙරට පාරිසරික ක්‍රියාවලිය සඳහා 2024 වර්ෂයට වෙන්ව ඇත.

එම සියලු ව්‍යාපෘති පළමු දෙවන කාර්තු වන විට බොහෝ දුරට අවසන් කිරීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල  මහතා ඊයේ  (11) එම   අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

පරිසර අමාත්‍යාංශයේ 2024 සැලැසුම් පිළිබඳව එම අමාත්‍යංශයේ නිලධාරීන්, ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

ඒ අනුව විදෙස් ආධාර මත ප්‍රධාන පාරිසරික ව්‍යාපෘති හයක් ක්‍රියාවට නැංවෙන අතර  මින් "ඕසෝන් වියන රැක ගැනීමේ ව්‍යාපෘතිය සඳහා මිලියන 50 ක්ද, සුවදායී භූමි දර්ශන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මිලියන 10 ක් වෙන් කර ඇති අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චුදූව ජලාශය ආශ්‍රිතව  එල්ලංගා පද්ධතියට අයත් වැව් ,සුළු වාරි ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම ද 2024 වර්ෂයට ඉලක්ක කෙරේ. රසදිය භාවිතය අවම කිරීමට විකල්ප වැඩපිළිවෙළ හඳුන්වාදීමක් ද  මෙම වර්ෂයේ පාරිසරික ව්‍යාපෘති අතර වේ. මල්වතු ඔය ගංගා ද්‍රෝණිය ඒකාබද්ධව කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර, මන්නාරම, පුත්තලම දිස්ත්‍රික්වලට මායිම්ව ක්‍රියාත්මක වැඩපිළිවෙළ සඳහා මිලියන 90ක් විදෙස් මුල්‍යාධාර යටතේ වෙන් කෙරේ.

කෘෂිකර්ම හා වෙනත් ඉඩම් භාවිතය පිළිබඳ ක්ෂේත්‍රවල හරිතාගාර වායු විමෝචනය පිළිබඳ විනිවිදභාවයෙන් යුතු රාමුවක් සැකසීම සඳහා රුපියල් මිලයන 170ක් වෙන්කර තිබේ. එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය පිටුදැකීමේ වැඩසටහන යටතේ දත්ත වාර්තා කිරීමේ ව්‍යාපෘතිය සඳහා මිලියන 12ක්ද 2024ට වෙන්කර තිබේ.

මෙයට අමතරව දේශීය අරමුදල් යටතේ පරිසර දැනුවත් කිරීමේ වැඩසටහන්,හරිත නියමු,අධ්‍යාපන පාරිසරික වැඩසටහන් ඇතුළු ව්‍යාපෘතීන්ද ,එමෙන්ම තිරසර ඉඩම් කළමනාකරණ වැඩපිළිවෙළ ආදී ව්‍යාපෘති රැසක් ද  මෙම වසර තුළ ක්‍රියාවට නැංවීමට පරිසර අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.