Wednesday, October 23, 2024
Follow Us
බන්ධනාගාර තදබදයට විසඳුමක්

වර්තමාන රජයේ ප්‍රතිපත්තිය දීර්ඝ කාලීන දඩුවම් ලබාදීමට වඩා පුනරුත්ථාපන ක්‍රියාවලිය මඟින් වැරදිකරුවන් යහමාර්ගයට ගැනීම බවත් එම ක්‍රියාවලිය තුළින් බන්ධනාගාර තදබදයට විසදුමක් ලබාගතහැකි බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

බන්ධනාගාරගතව සිර දඩුවම් විඳින රැඳවියන්ගේ දඩුවම් ලිහිල් කිරීමට අදාල නීති සංශෝධන කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකට ඊයේ(11) සහභාගී වෙමින් අමාත්‍ය ජනාධිපති විජයදාස රාජපක්ෂ මහතා මේ බව කීය.

ජාවාරම් කරුවන් නොවන නමුත් මත් ද්‍රව්‍ය සඳහා වැරදි කරුවන් බවට පත්ව දීර්ඝ කාලීන දඩුවම් ලබාදී ඇති පුද්ගලයන්ගේ දඩුවම් ලිහිල් කල යුතු ආකාරය පිළිබඳ අධ්‍යනය කර ඒ සඳහා අවශ්‍ය මාර්ගොපදේශ කඩිනමින් සකස් කර අමාත්‍යමණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ දඩුවම් ලබාදීමට බන්ධානාගාර දෙපාර්තමේන්තුවට හෝ පොලීසියට බලයක් නොමැති බැවින් නඩු තීන්දු ලබාදීමේදී පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳ වඩා වැඩි අවධානයක් යොමුකර ඉදිරි නඩු තීන්දු ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කලයුතු බවයි.

මෙම අවස්ථාවට අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් එස් යාපා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, ජේෂ්ඨ පොලිස් අධිකාරී අසංග කරවිට යන මහත්ම මහත්මීන් ඇතුළු බලපත්‍ර මණ්ඩල කමිටුවේ සහ විශේෂ සමාව ප්‍රධානය කිරීමේ කමිටු වල සාමාජික සාමාජිකාවන් පිරිසක් එක්විය.