Wednesday, October 23, 2024
Follow Us
ආරුක්කු 12 ක පාලම පසුකමින් මල්වතු ඔයේ සුන්දර බෝට්ටු සවාරියක්
අනුරාධපුර නගරය ඔස්සේ ගලා බස්නා මල්වතු ඔය හෙවත් කදම්භ නදිය අතීතයේ සිටම ආරක්ෂාව , සෞන්දර්ය මෙන්ම සශ්රිකත්වය උදෙසා ඉටුකර ඇත්තේ අමිල මෙහෙවරකි.
මල්වතු ඔය පදනම් වූ එකී විභවතාවයන් අදටත් එළෙසම පවතී. එයින් සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේ දී කදම්භ නදියෙන් ගතහැකි උපකාරය වර්තමානයේ දී නිසිව අවබෝධ කරගෙන කටයුතු කිරීම කාලෝචිත ක්රියාවක්.
උතුරු මැද පළාත් සංචාරක අමාත්යාංශය, මෙන්ම අනුරාධපුර හෝටල් හිමියන් ඇතුළු සංචාරක ක්ෂේත්රය ආශ්රිත පාර්ශවකරුවන් එක්ව උපායමාර්ගික සංචාරක සංවර්ධන වැඩපිළිවෙළක් ,මල්වතු ඔය ආශ්රය කරගනිමින් සිදුකරන්නට සැලසුම් කරමින් සිටින්නේ ඒ හේතුවෙන්.
මල්වතු ඔයෙහි සෞන්දර්ය අත්විඳින්නට හැකිවන පරිදි දෙස් විදෙස් සංචාරකයින්ට එහි යාත්රා කරන්නට ඉඩකඩ සැලසීම උදෙසා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම මෙහි අරමුණයි.
පැය කිහිපයක් මෙහි යාත්රා කරමින් ඔය දෙපස පරිසර සෞන්දර්ය අත් විඳින්නට සංචාරකයින්ට අවස්ථාව ලබාදීමටත් සංචාරය අතරවාරයේ කදම්භ නදියේ සුවිශේෂිතාවයන් විස්තර කිරීමටත් අවශ්ය වැඩපිළිවෙළ සම්පාදනය කිරීම දැන් ආරම්භ කර තිබේ.
බෝට්ටුවකින් ගමන් කර එම අත්දැකීම ලබාගන්නටත් වසර දහස් ගණනක් පුරා කදම්භ නදිය හා බැඳි අතීතය අනාවරණය කරගන්නටත්, ඔය දෙපසෙහි පරිසර සුන්දරත්වය වීඳීමටත් ඉදිරියේ දී සංචාරකයින්ට අවස්ථාව ලැබෙනු ඇත.
විශේෂයෙන්ම කදම්භ නදිය අවට ක්රමවත්ව සිදුකර ඇති වගාවන් නරඹන්නන්ගේ නෙත් වලට මනරම් දසුනක් . දේශීය ක්රමයට සකස් කරන ආහාර වේලක රස විඳමටත් මෙම මල්වතු ඔය සංචාරයේ දී අවස්ථාව උදා වේ. ඒ වෙනුවෙන්ම ඔය ඉවුරු ආසන්නයේ ගැමි පරිසරය මතුවන ආකාරයේ ස්ථාන සකස් කරමින් පවතී. ඒවායෙහි සිට ආහාර රසවිඳීමටත්, ගැමී පරිසරය අත් විඳීමටත් අවස්ථාව ලැබෙන අතර මාළු බෑම , පක්ෂින් නැරඹීම ආදිය සිදුකිරීමටද වැඩිපිළිවෙළ සකසා තිබේ.
 
ඔය මැදින් යාත්රා කරද්දි හමුවන කළු පාලම රමණීය දසුනක්. ආරුක්කු 12 ක් සහිතව ඔය හරහා මෙම පාලම ඉදිකර තිබෙන්නේ දුම්රිය මාර්ගය උදෙසායි. ශ්රි ලංකාවේ ප්රසිද්ධියට පත්ව ඇති දෙමෝදර පිහිටි ආරක්කු 09 පාලම තරමට ම අනුරාධපුර පිහිටි ආරුක්කු 12 හේ පාළම සංචාරකයින්ගේ සිත්ගන්නා පාලමක් විය හැකි අන්දමේ සුන්දරත්වයක් මෙහි පවතී.
 
මේ සියලු දේ අත්විඳිමට අවශ්ය පහසුකම් සැලසීම මෙම නව වැඩපිළිවෙළ නිර්මාණය කිරීම නිසා නුදුරු අනාගතයේ දීම බොහෝ සංචාරකයින්ට අවස්ථාව උදා වේ.
අනුරාධපුරයට පැමිණෙන බොහෝ සංචාරකයින් ඓතිහාසික අටමස්ථානය කේන්ද්ර කරගෙන සංචාරයේ නිරත වුවත්, ඉන් ඔබ්බට ස්වභාව සෞන්දර්ය අත්විඳමට හැකි පරිසරයක් ඉදිරියේ දී නිර්මාණය වීම හරහා එය ඔවුන්ට නවමු අත්දැකීමක් බවට පත්කර ගැනීමට අවස්ථාව උදාකර දීම මෙම නව වැඩපිළිවෙළ සකස්කරන සියලුදෙනාගේ අපේක්ෂාවයි.
 
-අන්තර් ජාලය ඇසුරින්