Wednesday, October 23, 2024
Follow Us
ශ්‍රී ලංකාවට කඩුලු දෙකක ජයක්

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද පැවති දෙවන එක්දින තරගය කඩුලු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

එහිදී ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට ගෙන ඒමට ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කළ ජනිත් ලියනගේ ලකුණු 95ක් රැස්කරගත්තේය.

සිය මංගල එක්දින අර්ධ ශතකය සමගින් ගොඩ නැගූ ඔහුගේ එම ආරක්ෂාකාරී ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය.

නායකයාගේ සිට කණ්ඩායමේ සෙසු පිතිකරුවන් සුපුරුදු පරිදි වගකීම් විරහිත පිතිකරණයක නියැලෙද්දී අවසානයේ පිටියට පිවිසි දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනගියේය.

ඒ අනුව ජනිත්ගේ පිත්තේ ආනුභාවයෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ කර මතින් පන්දුවාර 49කදී කඩුලු 8ක් දැවී ලකුණු 211ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකරගත්තේය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 208ක් රැස්කරගත්තේය.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ ලකුණු 31කට කඩුලු 4ක් දවාගත්තේය.

දුෂ්මන්ත චමීර සහ ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 2 බැගින් දවාගත්තේය.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ක්‍රේග් අර්වින් හයේ පහරක් සහ හතරේ පහර 9ක් සමග ලකුණු 82ක් රැස්කරගත්තේය.

Aruna