Wednesday, October 23, 2024
Follow Us
නුවරඑළියට දිස්ත්‍රික් විදේශ සේවා නියුක්ති කාර්යාංශයක් විවෘත වෙයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශය නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයක් ස්ථාපනය කර විවෘත කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07)  නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.

නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය විවෘත කළ අමාත්‍යවරයා එම කාර්යාලයේ ලියාපදිංචිය ලැබ පළමුව විදේශ ගත වන ශ්‍රමිකයා සදහා කාර්යාංශයේ ලියාපදිංචියද එම අවස්ථාවේදීම ලබාදුන්නේය.

නුවරඑළියේ ජනතාවට, නුවරඑළියේ ඊළග පරම්පරාවට වැඩ කළ යුතු වන්නේ ඡන්ද බලාගෙන නොවන බවත්, ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාවයන් ඉටු කිරීම සදහා වන බවත් අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය. ජාත්‍යන්තර සංකමණිකයින්ගේ දිනය යෙදී තිබුණ දෙසැම්බර් 18 වැනිදා පැවති උත්සවයකදී විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන් කළ ඉල්ලීම් පහෙන් හතරක් ඉටු කර ඇති බවත්, නුවරඑළියට දෙමළ භාෂාවෙන් කටයුතු කළ හැකි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දිස්ත්‍රික් කාර්යාලයක් ලබාදුන්නේ ඒ අනුව වන බවත් මනුෂ නානායක්කාර මහතා සදහන් කළේය. තමන් දරුවන්ට දුන් පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කිරීම සදහා කැපවී කටයුතු කළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට අමාත්‍යවරයා සිය ස්තුතිය පුද කළේය. ඔවුන්ගේ පස්වැනි ඉල්ලීම වන ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවද ඔහු විශ්වාසය පල කළේය.

නුවරඑළියට පැමිණි විට සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම ජාතික ගීය ගායනා කළ බවද, යාපනයට ගිය විට දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කළ බවද අමාත්‍යවරයා සිහිපත් කළේය. උත්සවයේ ප්‍රදර්ශනය කළ වීඩියෝ දර්ශනවලින් සියයට 95ක්ම දෙමළ භාෂාවෙන් විකාශය කළ බවද සිංහල පමණක් දන්නා අයගෙන් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. එහෙත් රටේ සිදුවන හැම දේම සිංහල භාෂාවෙන් පමණක් කිරීම සම්බන්ධයෙන් දෙමළ ජනතාවගෙන් කවදාවත් සමාව ඉල්ලා නොමැති බවද ඇමැතිවරයා සිහිපත් කළේය.

සිංහල රාජ්‍ය භාෂාව කරලා ජාතීන් බෙදා වෙන් කළ සියලුම දේශපාලඥයින්ට සාප වන බව පැවසූ මනුෂ නානායක්කාර මහතා ඒ බෙදීම නිසා අද දිනයේදී තමන්ට දෙමළ භාෂාවෙන් වචන කිහිපයක් කතා කිරීමට නොහැකිවී ඇති බවද කීවේය. දැන් ඉතිහාසයට චෝදනා කරමින් නොසිට අනාගතයේ සිටින පුංචි දරුවන් වෙනුවෙන් හෝ රට ගොඩ නැගිය යුතු බවද ඇමැතිවරයා සදහන් කළේය. දේශපාලඥයින් ගැනීමට අකමැති, ජනප්‍රිය නොවන තීන්දු වන බදු වැඩි කිරීම්, වැටුප් කප්පාදු කිරීම් කරමින් දැවැන්ත වෙනසක් මේ වන විට ඉටු කරමින් යන්නේ දරුවන්ගේ අනාගතය ගැන සිතමින් බවද ඔහු පැවසුවේය. අනාගතය දකින නායකයාගේ අඩි පාරේ යමින් තමන්ද නුවරඑළියට පැමිණ තීන්දු තීරණ ගත් බවද ඇමැතිවරයා කීවේය.

ඩොලර් මිලියන 500ක පංගුකාරයෙක් වන ලෙසට විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවීමට කටයුතු කර ඇති බවද, පසුගිය වසරේදී රටට ගෙනා ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 6කට ආසන්න වන බවද අමාත්‍යවරයා කීවේය. ඩොලර් බිලියන 6 සීමාව පසු කර යාමට අවශ්‍ය වන්නේ තවත් ඩොර් මිලියන 30ක් පමණක් බවද, එම ඩොලර් මිලියන 30 ගෙන්වා ගැනීමට නොහැකිවූයේ මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති හදන නිලධාරීන් නිසා බවද අමාත්‍යවරයා කීය. මේ සදහා අවශ්‍ය ගැසට් නිවේදනය ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කළත්, ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා ප්‍රකාශ කළත්, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේදීත් තීන්දු තීරණගත් නිලධාරීන් අදත් සිටිමින් ඩොලර් මිලියන හයෙන් නතර කළ බවද මනුෂ නානායක්කාර මහතා කීවේය. ඒ සදහා ඔවුන් වගකිව යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

වතුකරයේ ජනතාවගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වඩිවෙල් සුරේෂ් මහතා කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් වන තීන්දුව ජනාධිපතිවරයා විසින් මේ මස අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.

ග්‍රාම නිලධාරී කාර්යාලයක්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ආරම්භ කිරීමට මන්ත්‍රීවරුන් හත් අට දෙනෙක් එක්ව වසර පහලොවක් විස්සක් උත්සාහ කරන තත්ත්වයක් තුළදී දින කිහිපයක් තුළදී නුවරඑළියට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ලබාදීම සම්බන්ධයෙන් මනුෂ නානායක්කාර පිළිබඳ තමන් ආඩම්බර බවද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වඩිවෙල් සුරේෂ් මහතා පැවසුවේය.

නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරිමට සමගාමීව විගමනික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, විගමණික ශ්‍රමිකයින් ව්‍යවසායකයින් බවට පත් කිරීම සදහා සහාය ලබාදීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක විය.

මේ අවස්ථාවට අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් ලාල් සමරසේකර, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ආර්. පී. කේ. නන්දන මහතා ඇතුලු මහජන නියෝජිතයෝද එක්ව සිටියහ.