Wednesday, October 23, 2024
Follow Us
ගුවන්තොටුපොළට මුහුණු හඳුනගන්න ස්වයංක්‍රීය යන්ත්‍රයක්

අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ අද (06) ස්ථාපනය කෙරුණි.

මෙහිදී රටින් පිටවීමට හෝ රට තුළට පිවිසීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පැමිණෙන සියලු මගීන්ගේ ජායාරූප මෙම පද්ධතිය මගින් ග්‍රහණය කර ගන්නා අතර එවැනි අපරාධකරුවෙකු මෙම යන්ත්‍ර අභියසට පැමිණි විගස මෙම පරිගණක පද්ධතිය මගින් විශේෂ අනතුරු හැගවීමේ සංඥා හඩක් නිකුත් කරනු ලබයි .

එසැනින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් , ආගමන විගමන දෙපාර්තමේන්තු කවුන්ටර අසළ සිටින අපරාධකරු හදුනා ගෙන අත් අඩංගුවට ගැනීම සිදු කරයි .

මේ සදහා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කැමරා 08 ක් සහ පිටත්වීමේ පර්යන්තයේ කැමරා 08 ක් වශයෙන් කැමරා 16 ක සේවා ලබා ගනිමින් සිටින අතර ඉදිරි කාළයේ මෙම පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමට නියමිතය.

මෙම පද්ධතිය මගින් අවුරුදු 15 ක් 20 ක් පැරණි ජායාරූප දත්ත වුවත්  උපයෝගී කර ගනිමින් , වර්තමානයේ ඔහු කෙතරම් වෙනස් වීම් වලට භාජනය වී සිටියත් , ලිංගික වශයෙන් සංක්‍රාන්ති අවධි පසු කරමින් ලිංගික වෙනස්කම් වලට භාජනය වී සිටියත් , ඉතා පහසුවෙන් එම පුද්ගලයා හදුනා ගැනීමේ අවස්ථාව මෙම පද්ධතියට හිමි වී තිබේ.

මෙම පද්ධතිය ස්ථාපිත කිරීමේ අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් , වැඩබලන පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් , මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක යන මහත්වරු පිරිසක් එක්ව සිටියහ.