Wednesday, October 23, 2024
Follow Us
‘මගේ ළමයා’ යන සිතිවිල්ලෙන් මිදී ‘අපේ ළමයින්’ යන සිතුවිල්ලට එන්න 

‘මගේ ළමයා’ යන සිතිවිල්ලෙන් මිදී ‘අපේ ළමයින්’ යන සිතුවිල්ලට අප එළඹිය යුතු කාලය පැමිණ ඇති බැවින් සියලු ළමුන් කෙරෙහි අවධානය යොමු කිරීමට  වැඩිහිටියන් වන අප උපරිම කැපවීමෙන් ක්‍රියාකළ යුතු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති  උදයකුමාර අමරසිංහ මහතා පවසයි.

අදට (04) යෙදෙන ළමා හිංසනයට එරෙහි ජාතික දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව  සඳහන් කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි. 

‘ සෑම වර්ෂයකම ජනවාරි 04 වන දිනට යෙදෙන ළමා හිංසනයට එරෙහි ජාතික දිනය ප්‍රකාශයට පත්කර ඇත්තේ, ළමා හිංසනයට එරෙහිව ක්‍රියාත්මක වීම මෙන්ම, ළමා පරපුරේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ළමා හිතකාමී පරිසරයක් ගොඩ නැඟීම පරමාර්ථ කරගනිමිනි.

 

ළමයින්ගේ  ජීවිත වඩාත් සුරක්ෂිත කිරීමේ හැකියාව ඇත්තේ දෙමාපියන් හා භාරකරුවන් වෙතය. එමෙන්ම සමාජයේ සියලු වැඩිහිටියන්ගේද වගකීම වන්නේ ලෝකය භාර ගැනීමට සිටින දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ළමා උපකාරක දුරකථන සේවය වන 1929 අංකය හරහා අපවෙත දිනපතා ලැබෙන පැමිණිලි සංඛ්‍යාව අනුව ළමුන් වැඩි වශයෙන් හිංසනයට පත්වන්නේ සිය නිවස තුළදීමය. එමෙන්ම අද වන විට ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති සමාජ,ආර්ථික හා දේශපාලනික තත්වයන් මත හා නව සමාජ මාධ්‍යයන් හා සයිබර් අවකාශය හරහා  ළමා හිංසනය වර්ධනය වන ප්‍රවණතාවක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරීක්ෂණය කරයි. 

 

මෙවැනි ළමා හිංසනයන් තුළින් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු බිඳවැටීමත්,  සෞඛ්‍ය හා මානසික තත්වය පිරිහීම තුළින් ඔවුන්ගේ පෞරුෂත්වය බිඳ වැටීමත් සිදුවේ. මෙය වර්තමාන සමාජයට මෙන්ම රටෙහි අනාගත කෙරෙහිද අයහපත් බලපෑමක් සිදු කරයි.

 

ළමයකු සිදු කරන වැරැද්දකට ශාරීරිකව දඬුවම් කිරීම, ළමයාගේ ශාරීරික සහ මානසික වර්ධනයට හිතකර නොවන බැවින්, ළමයාට එය වැරැද්දක් බව ආදරයෙන් අවබෝධ කරදීම (ධනාත්මක ශික්ෂණය) තුළින් ලැබෙන ප්‍රතිඵල වඩාත් ඵලදායක වේ. එහිදී අප සිදු කළ යුත්තේ දරුවාට කරුණු අවබෝධ කරදීම, දැනුවත් කිරීම මෙන්ම, ඔවුන්ට නිවැරදි මඟ පෙන්වා දීමයි. ළමයාට ශාරීරික දඩුවම් සිදු කිරීමෙන් වැලැක්වීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් දැනට ලංකාවේ පවතින ඊට අදාල නීති සංශෝධනය කිරිමට අදාල යෝජනා රජයට මේ වන විට ඉදිරිපත් කර ඇත.

 

විශේෂයෙන් ළමුන්ගේ අදහස් වලට ගරු කරමින් තීරණ ගැනීමේදී ආදර්ශමත්වීමට ද වැඩිහිටියන් වශයෙන් අප වගබලා ගත යුතුය. එමෙන්ම, ‘මගේ ළමයා’ යන සිතිවිල්ලෙන් මිදී ‘අපේ ළමයින්’ යන සිතුවිල්ලට අප එළඹිය යුතු කාලය පැමිණ ඇති බැවින් සියලු ළමුන් කෙරෙහි අවධානය යොමු කිරීමට මෙන් වැඩිහිටියන් වන අප උපරිම කැපවීමෙන් ක්‍රියාකළ යුතුය.

 

දැයේ ළමයින්, ළමා හිංසනය ඇතුලු සියලුම ආකාරයේ අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උරුම කරදීම සඳහා සියලු පාර්ශවයන් එකට එක්ව කටයුතු කළ යුතු බව මම විශ්වාස කරමි. ඒ අනුව මෙරට වැඩිහිටි පුරවැසියන් වන අපි සෑමවිටම ළමයා, ළමයෙකු බව වටහා ගනිමින් ළමා හිංසනයෙන් තොරව දයාව කරුණාව හා සැලකිල්ල ආරක්ෂාව හැකි උපරිමයෙන් ලබා දෙමින් ඔවුන්ගේ ලෝකය වඩාත් යහපත් කරලීමටත් ඉන් මනා පෞරුෂයන්ගෙන් හෙබි අනාගත පුරවැසියන්ගෙන් අභිමානවත් වූ සමාජයක් බිහි කිරීමටත් එක්සත්ව එක්සිත්ව එක්වන මෙන් ගෞරවයෙන් ඔබට ආරාධනා කරන්නෙමි.''