Wednesday, October 23, 2024
Follow Us
ජාතික රෝහලේ දී කාන්තාවක් මියයාම  සම්බන්ධව විධිමත් පරීක්ෂණයක්  ආරම්භ කරයි

ජාතික රෝහලේ දී කාන්තාවක් මියයාම  සම්බන්ධව  විධිමත් පරීක්ෂණයක් ජාතික රෝහල‍ෙන් ආරම්භ කර ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විධිමත් කමිටුවක් හරහා ද මේ පිළිබද සාක්ෂි විමසීමක් දැනටමත් ආරම්භ කර ඇති බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ජාතික රෝහලේදී නොසැළකිලිමත්කම නිසා ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීම හේතුවෙන් රෝගියකු මියගිය බවට වූ හෙළිදරව්ව පිළිබද කරුණු සොයා බැලීමට අද (01) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කොළඹ ජාතික රෝහලේ නිරික්ෂණයකට  සහභාගි වෙමින් මේ බව සඳහන් කළේය. 

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද එක්විය. 

රෝගී ජිවිත බේරා ගැනීම සදහා විශිෂ්ට සේවාවක් මෙම රෝහල් පද්ධතිය තුළින් සිදු කරනු ලබනවා මෙන්ම මෙවැනි සිද්ධි සම්බන්ධව පරික්ෂා කිරිම් සිදු කර සිදු වූයේ කුමක් ද යන්න සොයාගෙන එවැනි වරදක් වී ඇත්නම් නැවත එවැනි වරදක් සිදු නොවීමට වගබලා ගැනිම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද  අමාත්‍යවරයා මෙහිදී පැවැසිය. 

වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා.

“ඉහත සිදුවීම සිදුවන අවස්ථාවේ සේවයේ නිරතව සිටි වෛද්‍ය, හෙද සහ අනෙකුත් කාර්ය මණ්ඩලවලින් සාක්ෂි විමසීම දැනටමත් ආරම්භ කර තිබෙනවා. මෙම රෝගී කාන්තාව සැත්කමකට භාජනය කර නැවත වාට්ටුව වෙත ගෙනවිත් නිර්වින්දනයෙන් සුවපත් වන අවස්ථාවේ දි මෙම ගැටලුව මතුව තිබෙන බව වාර්තා වෙනවා. සිදු වූ සිද්ධිදාමය පිළිබදව සාක්ෂි විමසීම දැනටමත් ආරම්භ කර තිබෙනවා.”  

“කාබන්ඩයොක්සයිඩ් නොසැලකිලිමත් ලෙස ලබාදීම යන කරුණ පිළිබදව පැහැදිලි ගැටලුවක් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. එම ස්ථානයට සම්බන්ධ වූ කාබන්ඩයොක්සයිඩි සිලින්ඩරයක් තිබිලා තිබෙනවා. ඔක්සිජන් ලබාදි ඇති බවත් වාර්තා වී තිබෙනවා. මෙය සිදු වූනේ අවසන් අවස්ථාවේ ද මුල් අවස්ථාවේ ද යන්න පිළිබදවත්, අවසන් අවස්ථාවේ අත්වැරදීමකින් යම් දෙයක් සිදු වුණා ද කියන ගැටලුවත් මෙතන තිබෙනවා. එම ගැටලුව විසදාගැනීමට මෙම පරික්ෂණ සිදු කරන්නේ. ඒ අනුව මතුවන කරුණු අනුව අදාළ  ක්‍රියාමාර්ග ගන්නවා.