Wednesday, October 23, 2024
Follow Us
රජය සතු වතු සමාගම් කිහිපයක ඇමැති සියඹලාපිටිය හදිසි නිරීක්ෂණ චාරිකාවක

රජය සතු වතු සමාගම් මගින් ගෙවා දැමීමට ඇති රුපියල් බිලියන 4කට අධික සේවක අර්ථසාධක අරමුදල්  ගෙවීම ඇතුළු වතු සේවක අයිතීන් රැක ගැනීම පිළිබඳ රජයේ දැඩි අවධානය යොමුව ඇතැයි වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ හන්තාන, කැලෑබොක්ක, ඇල්කඩුව ඇතුළු රජයට අයත් වතු සමාගම් කිහිපයක කළ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

වි⁣ශේෂයෙන් ම ලක්ෂයක් පමණ  වතු ආශ්‍රිත රැකියාවල නිතර වන ජනතාව සේ ම ලක්ෂයක් පමණ වන වතු ආශ්‍රිත පදිංචි ජනතාව රැක ගැනීම පිළිබඳ ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමුව ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. 

අනවසර පදිංචිකරුවන්ගේ ගැටලුව රජයට සේම එම ජනතාවට ද අසාධාරණයක් නොවන ලෙස විසඳා ගැනීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා  මෙහිදී අවධාරණය කළේ ය. මීට අමතරව හන්තාන වැනි වාණිජ සහ සංචාරක වටිනාකම අතින් ඉහළ ඉඩම් වඩාත් ඵලදායි ලෙස භාවිත කිරීම පිළිබඳ මෙහි දී අවධානය යොමු වූ බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.