Wednesday, October 23, 2024
Follow Us
මෙරටට ගෙනෙන ඖෂධ කඩිනමින් රෝහල් වෙත බෙදාහැරීමේ වැඩපිළිවෙළක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන වගකීම සුරක්ෂිත සහ ක්‍රියාකාරීව ඖෂධ ජනතාවට ලබාදීමට කටයුතු කිරීම බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ මෙරටට ඖෂධ ආනයනය කිරීම, ඖෂධ වරායෙන් නිදහස් කර ගැනීම සහ ක්‍රමවත්ව සහ කඩිනමින් රෝහල් වෙත බෙදාහැරීමේ වැඩපිළිවෙළ පිළිබඳව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා

“ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන වගකීම සුරක්ෂිත සහ ක්‍රියාකාරීව ඖෂධ ජනතාවට ලබාදීමට කටයුතු කිරීමයි. මේ පිළිබද පසුගිය කාලය තුළ විවිධ අර්බුධකාරි තත්ත්වයන් තිබුණා. මේ වන විට පැවැති අර්බුදකාරි තත්ත්වන් සමථයකට පත් කිරීමට සහ ඇති වී තිබෙන ප්‍රමාදයන් වළක්වා ගනිමින් ඉදිරි කටයුතු නිසි ආකාරයෙන් කරගෙන යාම සඳහා විවිධ වූ පියවර ගෙන තිබෙනවා.”

“ඖෂධ ලබාදීමේ දී ඖෂධයේ ප්‍රමිතිය වැනි විවිධ කාරණා සළකා බලා මෙරට ඖෂධ ලියාපදිංචි කිරීම් සිදු කරනවා. එයින් සිදු කරන්නේ ප්‍රමිතිය තහවුරු කිරීමයි. මෙලෙස ප්‍රමිතිය තහවුරු කරන ලද ඖෂධවල ලියාපදිංචි වීම් කල් ඉකුත් වූ විට එම ලියාපදිංචි කිරීම් නැවත කළ යුතුයි. නැවත කළ යුතු ඉල්ලුම්පත් සහිත ලිපගොනු රාශියක් පසුගිය අවූරුදු දෙක තුළ එකතු වීම නිසා යම්කිසි ප්‍රමාදයක් පසුගිය කාලය තුළ ඇති වෙමින් තිබුනා. නමුත් එම ප්‍රමාදය මඟහැරවීම සදහා සියලු කලින් ලියාපදිංචි වූ ඖෂධ සඳහා ලබන ජුනි මස අවසානය වන තෙක් ලියාපදිංචිය නැවත ලබාදීමට දැනට තීරණය කර තිබෙනවා. එමගින් සිදුවීමට ඉඩ ඇති ප්‍රමාදයන් මඟවරවා ගනිමින් මෙරටට ඖෂධ ලබාගැනීම සහ ඖෂධ වරායෙන් නිදහස් කර ගැනීම ඉතා පහසුවෙන් සහ කඩිනමින් සිදු කර ගැනීමට හැකි වෙනවා.”
“සමහර මාධ්‍යවල පසුගිය දින දෙක තුන තුළ විවිධ ආකාරයෙන් වාර්තා වී තිබුනා. “ඖෂධ නියාමන අධිකාරිය අකුරට වැඩ. බෙහෙත් තොඟ වරායේ හිරවෙයි, ඖෂධ තොඟ පිටින් වරායේ හිරකරනා ඖෂධ නියාමන අධිකාරියේ කුමන්ත්‍රණයක්” වැනි ආකාරයේ පුවත්. එවැනි ප්‍රවෘත්ති වාර්තා කිරීම ගැන අපි ඉතාමත්ම කණගාටු වෙනවා. ඖෂධ නියාමන අධිකාරි‌යේ අරමුණ ඖෂධ හිර කරලා ඖෂධ හිඟයක් ඇති කිරීම නොවෙයි. නිසි ආකාරයෙන් ජනතාවට ලබාදීමයි. දැනට අපි කටයුතු කරන්නේ ඖෂධ තොඟ වරායේ හිරවීම නවත්වලා ඉක්මනින් නිදහස් කර ගැනීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. කිසිම ප්‍රමාදවීමක් සිදු නොවන බවට අපි වගබලා ගන්නවා''