Wednesday, October 23, 2024
Follow Us
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මෙම වසරේ ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන්  48ක්

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම අරමුණූ කර ගනිමින් පවත්වනු ලබන  “සුවයට  අරුණක්” ජංගම සෞඛ්‍ය  සායන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අද  (23) නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, මාදන්වල රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ දී දිනය පුරා පැවැත්විණි.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි මෙම ජංගම වෛද්‍ය සායන වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන අතර, මේ වසරේ පවත්වනු ලබන 48 වන සහ අවසන් ජංගම වෛද්‍ය සායනය ද මෙය වේ.

විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය  කාර්ය මණ්ඩල 100 කගේ පමණ සහභාගීත්වයෙන් දිනය පුරා පැවැති මෙම ජංගම වෛද්‍ය සායනය හා හඟුරන්කෙත හා අවට මාදන්වල, උනන්තැන්න, කොට්ටල, දොළුගල, වැල්ලගිරිය, අඹලියද්ද, දොඩංකුඹුර වැනි ගම්මානවල දහසකට අධික ජනතාවක් එක්ව  සිටියහ.    

අද දින පැවැති මෙම “සුවයට  අරුණක්” ජංගම වෛද්‍ය සායනය තුලින් ජංගම රසායානාගාර සේවා, දන්ත වෛද්‍ය සායනය, අක්ෂි සායනය, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ මේධ මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීම, රුධිර පිඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද සායනය,  වකුගඩු සායනය, බෝනොවන රෝග පිළිබද සායනය සහ නොමිලයේ ඖෂධ ලබාදීම ඇතුලු සේවාවන් රැසක් සපයන ලදි.

පූජ්‍ය වැල්ලගිරියේ සුමංගල නායක හිමිපාණන් වහන්සේගේ සහ පූජ්‍ය වැල්ලම්පිටියේ සුමනධම්ම නායක හිමිපාණන්ගේ ඉල්ලීම පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන අංශයේ සහ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) අංශයේ  මෙහෙයවීම යටතේ ජනාධිපති විශේෂ ව්‍යාපෘති අංශය මෙම වැඩසටහනේ සංවිධාන කටයුතු සිදු කරන ලදි.

මෙම අවස්ථාවට ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර බණ්ඩාර, හඟුරන්කෙත ප්‍රාදේශීය මහලේකම් අයි.එම් සේනානායක, ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩල රැසක් එක්ව සිටියහ.