Wednesday, October 23, 2024
Follow Us
ඩෙංගු මදුරු මර්දනයට සියලු පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ලේකම්ගෙන් නිලධාරීන්ට උපදෙස්

ඩෙංගු මදුරු මර්දනය සහ ප්‍රතිකාර සේවාවන්  ශක්තිමත් කිරිමට සියලු  පියවර ගන්නා ලෙස  සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. සෞඛ්‍ය ලේකම්වරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඩෙංගු මදුරු මර්දනය, පාලනය  සහ ඩෙංගු රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිමට අදාළව ඊයේ (18) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදීය.

 

මෙරට  නාගරික සහ අර්ධ නාගරික පරිසරයන් අතර  ඩෙංගු රෝග ව්‍යාප්තිය ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වෙමින් පවතින බැවින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි ඩෙංගු මදුරු පාලනය සහ මර්දනය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය (NDCU) දිවයින පුරා විවිධ වැඩසටහන් රැසක් අඛණ්ඩව ක්‍රියාවට නංවනු ලබන අතර,  ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සඳහා ද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරනු ලබයි. 

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය “විහාරය” මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ද පසුගියදා  ක්‍රියාත්මක කරන ලද අතර, මෙම වැඩසටහනේ දී නිවාස 541 ක් පරීක්ෂාවට ලක් කර, මදුරුවන් බෝවිය හැකි තෙත් හා වියළි පරිශ්‍ර 46 ක් සහ මදුරු කීටයන් සහිත පරිශ්‍ර 26 ක් හදුනාගෙන ඇත.  112 දෙනෙකු හට නිවේදන නිකුත් කිරීමටත්, පරිශ්‍ර 07 ක් සම්බන්ධව නීතිමය පියවර ගැනීමට ද කටයුතු කර කර තිබේ.  එහි ප්‍රගතිය විමසා බැලීමට ද සෞඛ්‍ය ලේකම්වරයා කටයුතු කළේය.

මෙරට ඩෙංගු රෝගය තරමක් උත්සන්නව ඇති බවත් කොළඹ, ගම්පහ, නුවර, කළුතර, පුත්තලම, ගාල්ල, කෑගල්ල, කුරුණෑගල රත්නපුර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන බැවින් මදුරු මර්දන සති  ක්‍රියාත්මක කරමින් මදුරු මර්දනය, පාලනය සහ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට ගත හැකි කෙටිකාලීන සහ දිගුකාලින ක්‍රමවේදයන් ද අනුගමනය කරන ලෙස   සෞඛ්‍ය  ලේකම්වරයා මෙහිදී උපදෙස් ලබා දී තිබේ. 

අදාළ තීන්දු තීරණ  කඩිනමින් ඉහත දිස්ත්‍රික්කවල මෙන්ම දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ද  ක්‍රියාත්මක කරන ලෙස ද   මහීපාල මහතා  නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.  

මෙහිදී අනුගමනය කරන කෙටිකාලීන ක්‍රමවේදයන් වන පරිසරය පිරිසිදුව තබා ගැනිම, ධූමායන කටයුතු, දියර ඉසීම වැනි කටයුතුවලට අදාළ භෞතික හා මානව සම්පත්වල යම් හිඟතාවයක් පවතී නම් ඒ සදහා තමන් සෘජුව මැදිහත් වී අදාළ සම්පත් ලබාදීමට කටයුතු කරන බව  ඒ මහතා මෙහිදී පැවසීය. සෞඛ්‍ය ලේකම්වරයා ආරක්ෂක ලේකම්වරයා  සමග පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සහාය ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා ලබාදිමට  එකඟතාවය පළ කළ බව ද  මහීපාල මහතා පැවසීය. 

එමෙන්ම සතියකට පැය කිහිපයක් රාජ්‍ය ආයතන පිරිසිදු කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරිමට රාජ්‍ය නිලධාරින් මෙන්ම ආයතන ප්‍රධානීන් දැනුවත් කිරිමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ද උපදෙස් ලබාදෙන ලදි.

රජයේ රෝහල්වල ඩෙංගු ප්‍රතිකාර කටයුතු සිදු කරන ඒකකවලට අවශ්‍ය වෛද්‍ය උපකරණ මෙන්ම කාර්ය මණ්ඩල පිළිබඳව සොයාබැලීමක් සිදුකර පවතින අඩුපාඩු සපුරාලීම පිළිබදව අවධානය යොමු කරන ලෙස ද සෞඛ්‍ය ලේකම්වරයා  නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේය.