Wednesday, October 23, 2024
Follow Us
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා පළමු කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා තෝරා ගනු ලැබූ පළමු කණ්ඩායම ඊයේ(18) රාත්‍රියේ දී කටුනායක ගුවන්තොටුපොලින් ඊශ්‍රායලය බලා පිටත්ව ගියේය.


මෙම කණ්ඩායමට තිස් දෙනෙක් ඇතුළත් වූ අතර අද(19) උදෑසන තවත් විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊශ්‍රායලය බලා පිටත්ව ගිය අතර අද (19) රාත්‍රියේදීත් තවත් තිස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊශ්‍රායලය බලා පිටත් කර යවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන පළමු කණ්ඩායම සඳහා වන ගුවන් ටිකට්පත් අමාත්‍යවරයා අතින් ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වෙනුවෙන් ඊයේ(18) පැවති උත්සවයක දී ශ්‍රමිකයින්ට ලබාදුන්නේය.
දෙරට අතර මීට පෙර ඇති කරගෙන තිබූ ද්වි පාර්ශවික ගිවිසුමක් අනුව කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කිරීමට කටයුතු කරන අතර ඉදිරි සති කිහිපය තුළ දී ශ්‍රමිකයින් දස දහසක් ඊශ්‍රායලය බලා පිටත් කර යැවීමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා ලබාගැනීම සඳහා කිසිදු අතරමැදියෙක්ට මුදල් ලබා නොදෙන ලෙස ඉල්ලා සිටින අමාත්‍යවරයා එසේ මුදල් ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වුවහොත් මුදල් ලබා දී ඇති ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඊශ්‍රායලය සමඟ එකතාවයකට පැමිණ තිබෙන බව ද සඳහන් කළේය.
මීට අමතරව ඉදිරියේ දී ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා ශ්‍රමිකයින් විසි දහසක් බදවාගැනීම සදහා ඊශ්‍රායලය එකඟතාවය පළ කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.