Wednesday, October 23, 2024
Follow Us
16 වන පරිසර නියමු ජාතික කඳවුර මෙවර මහරගමදී  

මධ්‍යම පරිසර අධිකාරිය මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන පරිසර නියමු වැඩසටහනේ වාර්ෂික මහා මංගල්‍යය මෙම මස 20, 21, 22 සහ 23 යන දිනවල දී මහරගම -  ජාතික අධ්‍යාපන ආයතනයේ පරිශ්‍රයේ දී උත්කර්ෂවත් ලෙස පැවත්වීමට කටයුතු යොදා ඇත.

පරිසර නියමුවන් ඇතුළු පරිසර ක්‍රියාකාරීන් 300ක් දින 4ක් පුරා කඳවුරු බඳින මෙවර කඳවුරේ සමාරම්භක උළෙල දෙසැම්බර් මස 21 වන දින පෙරවරු 8.00ට පරිසර අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රාජ්‍ය නිලධාරීන් ඇතුළු අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අනාගත ශ්‍රී ලාංකේය පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත කිරීමේ උදාර පරමාර්ථයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන පුළුල් පරිසර ජාලය පරිසර නියමු වැඩසටහනයි. 1984 දී කොළඹ, මාළිගාවත්ත නව නගරය කේන්ද්‍ර කරගනිමින් සිසුන් 25 දෙනෙකුගේ කුඩා කණ්ඩායමකින් ඇරඹි මෙම වැඩසටහන අදවන විට දිවයින පුරා බොහෝ පාසල්වල ක්‍රියාත්මක වැඩසටහනක් බවට පත්ව ඇත. “පරිසරය අප රකියි - රකිමු අපි පරිසරය” තේමාව පෙරදැරිකර ගනිමින් ජාතික පරිසර නියමු වැඩසටහන හරහා ශ්‍රී ලාංකේය පාරිසරික උරුමය සුරැකීමට පියනගන පරිසර නියමුවකු පරිසර ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ වෙමින් පදක්කම් 05ක් ලබාගැනීම දක්වා ක්‍රියාවලියක ගමන් කළ යුතුය. එහි දී විශේෂ දක්ෂතා දැක් වූ පාසල් 61ක ස්වර්ණ පදක්කම් ලාභී පරිසර නියමුවන් 211දෙනෙකු ද ඇතුළත්ව 300ක පමණ පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ පළාත් 8කට අයත් දිස්ත්‍රික්ක 16ක පරිසර නියමු සිසු දරුදැරියෝ පරිසරය සුරැකීම යන පොදු අරමුණ පෙරදැරි කර ගනිමින් මෙම සිව්දින කඳවුරේ දී කටයුතු කරති.

පරිසර නියමු වැඩසටහනට සමාගමීව පළමු වරට පරිසර නියමු කඳවුරක් පැවැත්වූයේ 1998 වර්ෂයේ දී රන්දෙණිගල වනජීවී පුහුණු මධ්‍යස්ථානයේදීය. එලෙස ආරම්භ කළ පරිසර නියමු කඳවුරු පැවත්වීමෙන් පසු වාර්ෂිකව කඳවුරු පැවැත්වූ අතර මෙවර පවත්වනේ 16වන පරිසර නියමු කඳවුරයි.  කොවිඩ් වසංගත තත්වයෙන් පසුව පවත්වනු ලබන පළමු පරිසර නියමු ජාතික කඳවුර ද මෙය වේ.

පරිසර නියමුවන් 211දෙනෙකුට ස්වර්ණ පදක්කම් ප්‍රදානය කිරීම, නවෝත්පාදන ප්‍රදර්ශනය, පරිසර තේමා රැගත් විවිධ තරග, පරිසර නියමුවන්ගේ සංස්කෘතික උළෙල ආදී විශේෂාංග සහ ක්‍ෂේත්‍ර පරිසර චාරිකා ඇතුළු පාරිසරික ක්‍රියාකාරකම් රැසක් පරිසර නියමු දරුවන් වෙනුවෙන් මෙවර පරිසර නියමු ජාතික කඳවුරේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. පරිසර නියමුවන් පාසලේ දී පරිසරය පිළිබඳ ලබන න්‍යායික දැනුම දින 04ක් පුරා ප්‍රායෝගිකව අත්වීඳීමේ අවස්ථාව ලැබෙන පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ, පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ අංශය මෙම වැඩසටහන සංවිධාන කරයි.