Wednesday, October 23, 2024
Follow Us
ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාවෙන් අඛණ්ඩව සහන

අයහපත් කාළගුණික තත්වය හමුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය පරාක්‍රමපුර ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් එම ප්‍රදේශය වෙත අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

එම සහන කණ්ඩායම් ගංවතුරෙන් පීඩාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරමින් සිටියි.

ඒ අනුව, මා ඔය පිටාර ගැලීම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය පරාක්‍රමපුර ප්‍රදේශයේ ඇතිවී ඇති ජල ගැලීම් තත්වය හමුවේ, වව්නියාව – පදවිය මාර්ගයේ වෙහෙරතැන්න සපත්තු පාලම සහ වේලි ඇල සපත්තු පාලම ජලයෙන් යටවී ඇති බැවින්, එම ප්‍රදේශයේ ජනතාවගේ දෛනික අවශ්‍යතාවයන් සිදු කර ගැනීම සඳහා වව්නියාව පදවිය මාර්ගය භාවිතා කිරීම අවහිර වී තිබේ.

එම ප්‍රදේශය ඔස්සේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා ගමන් කරනු ලබන ප්‍රදේශවාසීන් සඳහා ඩිංගි යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ සහන කණ්ඩායම් මඟින් සිදු කරනු ලබන අතර, ඒ සඳහා සහන කණ්ඩායම් දෙකක් කුඩා යාත්‍රා සහ ජීවිතාරක්‍ෂක උපකරණ සමඟ යොදවා ඇත.

2023 දෙසැම්බර් මස 03 වන දින සිට මේ දක්වා ගංවතුරෙන් වෙහෙරතැන්න සපත්තු පාලම ප්‍රදේශය ඔස්සේ පුද්ගලයින් 2381 දෙනෙකු සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදුන් අතර, 2023 දෙසැම්බර් මස 11 වන දින සිට මේ දක්වා ගංවතුරෙන් යටවී ඇති වේලි ඇල සපත්තු පාලම ප්‍රදේශය අසලින් පුද්ගලයින් 337 දෙනෙකු සඳහා ඩිංගි යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

තවද, අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට අමතර සහන කණ්ඩායම් ද නාවික හමුදාව සූදානමින් තබා ඇත.