Wednesday, October 23, 2024
Follow Us
සෞඛ්‍ය පද්ධතියන් නැවත පණගන්වා ජනතා විශ්වාසනීයත්වය ඇති කළ යුතුයි - සෞඛ්‍ය ඇමැති 

මෙරට තුළ ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව, ද්විතීයික සෞඛ්‍ය සේවාව හා තෘතීයික  සෞඛ්‍ය සේවාව නැවත පණගන්වා ජනතාව තුළ විශ්වාසනීයත්වය ඇති කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපගේ කාර්යභාර්ය වී තියෙන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලද්දේ අද (13) මහරගම අපේක්ෂා රෝහලේ වත්මන් තත්වය පිළිබදව සොයා බැලීම සදහා සිදු කරන ලද විශේෂ නිරීක්ෂණ  චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,

“මෙරට සෞඛ්‍ය පද්ධතිය තුල විශාල මානව සම්පතක් සිටින බවත්, ඊට සමානව ඉතාම හොද යටිතල පහසුකම් පද්ධතියක් තිබෙන බවත්, සංවිධානාත්මක ජාලයක් හරහා විධිමත්ව සෞඛ්‍ය සේවාව සලසන බවයි.

එමෙන්ම ශ්‍රී  ලංකාව තුල පිළිකා රෝගයට ගොදුරු වුන දරුවන් විශාල ප්‍රමාණක් සිටින බවත් අවාසනාවකට එම සංඛ්‍යාව ඉහල යන බවද කියා සිටියේය. බෝවන රෝග මෙන්ම බෝ නොවන රෝග වලින් ජනතාව බේරා ගැනීම සදහා ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද  ක්‍රියාවට නැංවිය යුතු බවත්, සරල පැරසිටමෝල් පෙත්තේ සිට සංකීර්ණ මොලයේ ශල්‍යකර්මය දක්වා විකිරණ ප්‍රතිකාර ඇතුළු ඖෂධ වෙනුවෙන් හැදුනුම්පතක්, රක්ෂණයක්  නොමැතිව කෑම බීම පවා ලබා දෙමින් ප්‍රතිකාර කරන ලෝකයේ රටවල් අතලෝස්ස අතුරින් ලංකාව ප්‍රධාන තැනක් ලබා ගන්නා බවයි.”

මෙහිදී අමාත්‍යවරයා විසින් රුපියල් මිලියන 150 ක වියදමකින් රුහුණු මහා කතරගම දේවාල අරමුදලින් ඉදි කෙරෙන සිව් මහල් ලමා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් නිරීක්ෂණයට ලක් කෙරිණි.

ඊට අමතරව අපේක්ෂා රෝහලේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට පවතින වත්මන් ගැටලු පිලිබදවත් විශේෂ අවධානයක් අමාත්‍යවරයා යොමු කල අතර රෝහල තුල හිගයකින් තොරව ඖෂධ පවත්වා ගෙන යාමේ ක්‍රමවේදය අඛණ්ඩව, විධිමත්ව පවත්වාගෙන යන ලෙසටත් ඒ සදහා යම් ගැටලු පැන නැගුණහොත් ඍජුවම ඒ පිලිබදව තමන් දැනුවත් කිරීමට පියවර ගන්නා මෙන් අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතාට මෙහි දී උපදෙස් ලබා දෙන ලදී.