Wednesday, October 23, 2024
Follow Us
ඉදිරියේ දී අක්කර බදු අය කිරීම ගැන තීරණයක්  

කෘෂිකාර්මික ඉඩම් සඳහා අය කෙරෙන අක්කර බදු මින් ඉදිරියට අය කිරීම අත්හිටුවීමට රජය අවදානයට ලක්කර ඇති බව  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 ඊයේ  (12)   සංවර්ධන නිලධාරින් සමග පැවැතී සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අක්කර බදු  ලෙස සැලකෙන්නේ කෘෂිකාර්මික ඉඩම් සඳහා අක්කරයකට රුපියල් සියයක් බැගින් අය කරගන්නා බදු මුදලකි. මෙම බදු මුදල් සංවර්ධන නිලධාරින් මගින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අය කර ගන්නා බදු මුදලකි. එම මුදල රජයේ ආදායමට බැර කරනු ලබයි.

අක්කර බදු වශයෙන් අය කර ගන්නා මුදල තවදුරටත් අය කිරීම අවශ්‍ය නැති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  විසින් අමාත්‍ය මණ්ඩල රැස්වීමක දී සඳහන් කළ බවත්, විශේෂයෙන් මෙම බදු මුදල අය කිරීම මගින් ලැබෙන ආදායමට වඩා වැඩි මුදලක්  ඒවා එකතු කිරීමට වැය කිරීමට රජයට  සිදු වී තිබේ. එමනිසා ඉදිරියේ දී අක්කර බදු අය කිරීම මුලුමනින්ම අත්හිටුවීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. 

ගොවි ජනතාවගෙන් එම මුදල අය කිරීම සුදුසු නැති බව ජනාධිපති ප්‍රකාශ කළ බව ද අමාත්‍යවරයා මෙහිදී  පැවසීය.

සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන තාක්ෂණ කේන්ද්‍රස්ථාන බවට පත් කිරීම සඳහා අයවැය වාර්තාව ඉදිරිපත් කරමින්   ජනාධිපති ප්‍රකාශ කළ අතර ඒ සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන යොදා  නොගැනීමටත්, ඒ වෙනුවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වෙනත් සංවිධාන ව්‍යුහයක් සැකසීමට රජය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.