Wednesday, October 23, 2024
Follow Us
කලාවේ සුරක්ෂිත බව වෙනුවෙන් පනතක් මගින් නව අධිකාරියක් 

කලාවේත් කලාකරුවන්ගේත් වෘත්තීයභාවය  සුරක්ෂිත කිරීම වෙනුවෙන් පනතක් මගින් අධිකාරී බලයක් සහිත නව රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට අදාළ මූලික සාකච්ඡාවක් පසුගියදා (07) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.  

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට මෙරට ප්‍රධාන ක‍ලා සංවිධාන රැසක නියෝජිතයන් ඇතුළු කලාකරුවෝ රැසක් සහභාගී වූහ.

සිනමාව, ටෙලිනාට්‍ය, සංගීත ක්ෂේත්‍රය, වේදිකා නාට්‍ය, චිත්‍ර කලාව, කවිය, හිටිවන කවිය ඇතුළු කලාවේ සියලු ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි අධිකාරි බලයක් සහිතව නව පනතක් මගින් මෙම රාජ්‍ය ආයතනය පිහිටුවිය යුතු බවට මෙහිදී යෝජනා විය.

කලාකරුවාගේ වෘත්තීය බව ආරක්ෂා කරගනිමින් කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යාමට අදාළව    නව නීති සකස්විය යුතු බවට මෙහිදී සාකච්ඡා විය.  මෙවැනි රාජ්‍ය මැදිහත්වීමක් මෙතෙක් සිදුවී නොමැති වීම විශාල ගැටලුවක් බවත් එබැවින් කලාකරුවන්ම රැස්වී විවිධ සංවිධාන පිහිටුවා ගත් බවත් මෙහිදී කලාකරුවෝ පෙන්වා දුන්හ. එබැවින් ‍ජාතික අවශ්‍යතාවක්ව පවතින මෙම කාර්ය සදහා මැදිහත්වීම සම්බන්ධයෙන් ක‍ලාකරුවෝ අධිකරණ අමාත්‍යවරයාට සිය ස්තූතිය පුද කළහ.

එක් එක් කලා ක්ෂේත්‍රයන්ට බලපාන ගැටලු සහ අදාළ කරුණු වෙනස් බැවින් ඒවා වෙන් වෙන් වශයෙන් සළකා බැලීමේ අවශ්‍යතාව ද කලාකරුවෝ මෙහිදී පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ කලාවට අදාළ සියලු අමාත්‍යාංශ සහ ආයතනවල සහයෝගයෙන් මෙම නව පනත කෙටුම්පත් කිරීමට සිය උපරිම දායකත්වය ලබා දෙන බවයි. ඒ අනුව මීට අදාළ මූලික රාමුව සකස් කර ලබන ජනවාරි 10 ට පෙර ලබා දෙන ලෙස ද කලා සංවිධානවලට දැනුම් දුන්නේය. එසේම කිසිදු දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව හුදු කලාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ගන්නා මෙම පියවර සදහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.