Wednesday, October 23, 2024
Follow Us
වෛද්‍ය ශිවරූබන්ගෙන් ලැබුණු තොරතුරු මත කොටින්ට පණ දෙන්න ගිය තවත් හත් දෙනෙක්‌ අත්අඩංගුවට

එල්.ටී.ටී.ඊ. සංවිධානයට යළි පණ දීමට උත්සාහ කළ බවට සැක කෙරෙන දෙමළ ජාතිකයන් හත් දෙනකු යාපනය හා කිලිනොච්චිය යන ප්‍රදේශවලින් 29 දා පොලිස්‌ ත්‍රස්‌ත මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ හත් දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ දැනට යාපනය පොලිසියේ ත්‍රස්‌ත මර්දන ඒකකයේ තබා ගෙන ප්‍රශ්න කරගෙන යන පලෙයි රෝහලේ වෛද්‍ය සින්නයියා ශිවරූබන් වෛද්‍යවරයාගෙන් ලැබුණු තොරතුරු මත බව පොලිසිය පැවසීය.

ඒ අනුව සින්නමනි තනේශ්වරන්, ඉරත්තිනම් ක්‍රිෂ්නරාසා, මෝහනසුන්දරම් සිත්නතුර සහ විනයාගමුර්ති නෙජිලන් යන හතර දෙනා යාපනය ත්‍රස්‌ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් කිලිනොච්චියේදී අත්අඩංගුවට ගෙන ඇත.

යාපනයේදී මේ සම්බන්ධයෙන් තවත් තුන් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සැකකරුවන්ගෙන් ලැබුණු තොරතුරු මත පළාත් කීපයක වළලා ඇති පුපුරන ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු පොලිසිය වෙත ලැබී තිබේ. කොළඹ සිට යාපනයට ගොස්‌ සිටින පොලිස්‌ ත්‍රස්‌ත මර්දන ඒකකයේ කණ්‌ඩායමක්‌ යාපනයේ නිලධාරීන් සමඟ එක්‌ව මේ පිළිබඳව තවදුරටත් විමර්ශන කටයුතු කරගෙන යයි.

(Lanka Leads)