Wednesday, October 23, 2024
Follow Us
මම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යුධ හමුදාපති!

තමන් එක් ජනවර්ගයකට සිමා වී නැති අතර සියලුම ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කරන යුධ හමුදාපතිවරයා බව නව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළේය.

ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කළේ (26) පස්වරුවේ පැවති 2019 කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදීය.

ඔහු මේ බව කියා සිටියේ සිය පත්කිරීම තුළ දෙමළ ජනතාව තුළ යම් බියක් සහ කනස්සල්ලක් පවතින බවට කළ ප්‍රශ්න කිරීමට පිළිතුරක් ලෙසය.

"මම එක ජනවර්ගයකට පමණක් අදාළ හමුදාපතිවරයෙක් නෙවෙයි. මම සියලු ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කරන ශ්‍රී ලංකාවේ යුධ හමුදාපතිවරයා. මම මේ රටේ සමස්ත ප්‍රජාවම ආරක්ෂා කරනවා."

තමන්ගේ පත්කිරීම ගැන ඇතැම් රටවල් ඔවුන්ගේ අදහස් පළකර තිබුණ අතර ඒවා ඇහෙන්නට තිබුණ බවද ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේය. නමුත් ජනාධිපතිවරයා රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කල්පනා කර යුධ හමුදාවට සුදුසු නායකයෙක් ලබාදීමට කටයුතු කරන්නට ඇති බවයි හෙතෙම සඳහන් කළේ.

බුද්ධි අංශ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන්ද ශවේන්ද්‍ර සිල්වා මහතා අදහස් දැක්වීය.

"යුධ හමුදාවක පළමු අංශය ලෙස අපට බුද්ධි අංශ ඉතාම වැදගත්. අපට තිබෙන බුද්ධි තොරතුරු අනුව තමයි අපගේ භට පිරිස් යොදවන්නේ. මගේ කාලය තුළ බුද්ධි අංශ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමේදී යම් ව්‍යුහාත්මක වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම එකම ස්ථානයේ කොහෙත්ම අපේ අය රැඳී ඉන්නේ නැහැ. අපිට තියෙනවා ක්‍රමවේදයක්."

ඒ අනුව සමහර වෙනස්කම් ඇතිවීමට අවස්ථාව තිබෙන බවයි යුධ හමුදාපතිවරයා පැවසුවේ.

(LNW)