Wednesday, October 23, 2024
Follow Us
“සමහරු අපිට කිව්වේ මේක ශරීයා නීතිය කියලා”

පවතින මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ කැබිනට් පත්‍රිකාවේ තමන් විසින් ඉල්ලීම් කරන ලද වෙනස්කම් 100%ක් ඇතුළත්වී 'නොමැති' බව මුස්ලිම් කාන්තා සංවිධාන පවසති.

කාන්තා ක්‍රියාකාරී ජාලය වෙනුවෙන් අදහස් දැක්වූ ශ්‍රීන් අබ්දුල් ශරූර් පැවසුවේ අධිකරණ අමාත්‍යාංශය එම කැබිනට් පත්‍රිකාව සකස් කිරීමේ දී මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය සමග කටයුතු කර ඇති නිසා එය සිදුවන්නට ඇතැයි තමන් සැක කරන බවය.

පවතින මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව බදාදා (අගෝස්තු 21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

එහි සඳහන් වන්නේ "මෙම පනතෙහි ඇතැම් විධි විධාන සංශෝධනය විය යුතු බවට මුස්ලිම් ප්‍රජාවගේ හා මානව අයිතිවාසිකම් සුරැකීමේ ක්‍රියාකාරීන්ගේ අදහස් සළකා බලා මෙම තීරණය ගෙන ඇත" යනුවෙනි.

ඒ අනුව, මුස්ලිම් ජනයාගේ විවාහ විය යුතු වයස, ඔවුන්ගේ විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සහ විවාහය සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට අදාළ විධිවිධාන ආදී කරුණු සංශෝධනය කරමින්, එකී පනත සංශෝධනය කිරීම සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

සිවිල් සංවිධාන ප්‍රතිචාරය
කාන්තා ක්‍රියාකාරී ජාලයේ ශ්‍රීන් අබ්දුල් ශරූර් බීබීසී සිංහල සේවයට පැවසුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවේ අඩු ලුහුඩුකම් තිබේ නම් ඒවා නිවැරදි කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට තමන් පසුබට නොවන බවය.

"මම හිතන්නේ අධිකරණ ඇමතිවරිය මේ ගැන අපිට උදව් කරන්න ඕනේ. එයා මේක කළේ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයත් එක්ක එකතු වෙලා. ඒ නිසා අපිට පොඩි සැකයක් තියෙනවා අපි අහපු ඔක්කොම දේවල් එතන තියෙනව ද කියලා. ඒක අපි දන්නේ නැහැ. කැබිනට් පේපර් එක බලලා තමයි අපි ඉදිරියේ ගත යුතු දේ තීරණය කරන්නේ."

විශේෂයෙන්ම විවාහක මුස්ලිම් කාන්තාවන්ගේ ගැටලු ගැන ඇසීමට ඇති ක්වාසි උසාවි සඳහා කාන්තා කාති තනතුරු ඇති නොකරන්නේ නම් එය මුස්ලිම් කාන්තාවන්ට බලපාන බව ද ශ්‍රීන් අබ්දුල් ශරූර් පැවසීය.

මුලදී මුස්ලිම් කාන්තාවෝ විතරයි මේකට වැඩ කළේ. නමුත් මෑතක සිට මුස්ලිම් කාන්තාවෝ විතරක් නොවේ ඔක්කොමලා මේ ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ ගොල්ලෝ කිව්වා ලංකාවේ තියෙන මේ නීතිය හරි අසාධාරණයි කියලා.
ශ්‍රීන් අබ්දුල් ශරූර්
"ආපහු පිරිමි කාතිලා විතරක් නම් ඉන්නේ ඒ ප්‍රතිසංස්කරණය (Reform) කරලා වැඩක් නෑ. එහෙම වුණොත් අපි ඒක ලබාගන්න වැඩ කරනවා."

"අපි මේ ක්‍රියාවලියට අවුරුදු 30කට විතර වැඩකරලා තියෙනවා. අද ඊයේ ආපු එකක් නොවෙයි. පාර්ලිමේන්තුවට තේරිලා ගිය මුස්ලිම් මන්ත්‍රීලා, සමස්ත ලංකා ජමඉයියතුල් උලමා ඔක්කොම අපිට කිව්වේ මේක ශරීයා නීතිය කියලා. මේකට කවුරුත් අත දාන්න බෑ කියලා. සමහරු අපිට තර්ජනය කළා. නමුත් මෙම නීති වෙනස් කරන තැනට ඇවිල්ලා තියෙනවා. ඒක හොඳ දෙයක්."

මීට දින කිහිපයකට පෙර නිවේදනයක් නිකුත් කළ 'සිවිල් සංවිධාන එකමුතුව' පෙන්වා දුන්නේ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට රජය කඩිනමින් පියවර ගත යුතු බවය.

"මෙම පනත සංශෝධනය නොවීම නිසා මුස්ලිම් ප්‍රජාව විශේෂයෙන්ම කාන්තාවන් සහ දරුවන් දැඩි අපහසුවකට පත්ව ඇත" යනුවෙන් එම සංවිධාන එකමුතුව නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දීම සඳහා පසුගිය රජයන් විසින් විවිධ අවස්ථාවල කමිටු 5ක් පමණ පත් කරනු ලැබුව ද ඒවා ප්‍රථිපල රහිත විය.

2009 දී විනිසුරු සලීම් මර්ෂූෆ්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව වසර 9ක් පුරා අදහස් සහ යෝජනා එක් රැස් කිරීමෙන් අනතුරුව එම කමිටුවේ නිර්දේශ 2018දී ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් ද පවතින නීති සංශෝධනය සඳහා නිර්දේශ 14කට එකඟතාව ලබා දී තිබේ.

2019 ජුලි මස ලබාදුන් එම එකඟතාව යටපත් කිරීමට සමහර පාර්ශ්ව කටයුතු කරන බවට ද සිවිල් සංවිධාන චෝදනා කරති.

"සියලු වැසියන්ගේ සමානාත්මතාව සුරැකීම රජයේ යුතුකමක්" යනුවෙන් සිවිල් සංවිධාන 30ක් සහ පුද්ගලයින් 197 දෙනෙකු විසින් ඒකාබද්ධ ව නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් විණි.

වෙනස් විය යුතු නීති වශයෙන් මුස්ලිම් කාන්තා සහ සිවිල් සංවිධාන විසින් පෙන්වා දෙනු ලබන කරුණු අතර;

· කාන්තා කාති තනතුරු ඇති කිරීම

· විවාහ වනවිට කාන්තාවට අත්සන් කිරීම

· විවාහ සහ දික්කසාදවීමට සමාන අයිතිවාසිකම්

· බාලවයස් විවාහ සිදුකිරීම වැළැක්වීම

යනාදිය ද වේ.

"මුලදී මුස්ලිම් කාන්තාවෝ විතරයි මේකට වැඩ කළේ. නමුත් මෑතක සිට මුස්ලිම් කාන්තාවෝ විතරක් නොවේ ඔක්කොමලා මේ ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ ගොල්ලෝ කිව්වා ලංකාවේ තියෙන මේ නීතිය හරි අසාධාරණයි කියලා. ඒක අපිට විශාල බලයක් සහ ශක්තියක් වුණා. මුස්ලිම් පිරිමින්ට මේ ප්‍රශ්නය ගැන කිව්වට ඒගොල්ලෝ ඒක පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ අපිට චෝදනා කරන්නේ අපි බටහිර 'ෆෙමිනිස්ට්' කියලා. නමුත් මෑතක සිට අධ්‍යාපනය ලැබූ උලමාවරුත් මේ වෙනස අවශ්‍යයි කියල පිලිගන්නවා," ශ්‍රීන් අබ්දුල් ශරූර් පැවසුවාය.

ලැබී ඇති තොරතුරුවලට අනුව තමන්ගේ ඉල්ලීම්වලින් 90%ට පමණ යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවත් ඉතිරි 10% පිළිබඳ තමන්ට ගැටලු ඇති බවත් ශරූර් සඳහන් කළාය.

"ඒ යෝජනාවල පෙනෙන ආකාරයට විවාහ වයස අවුරුදු 18 කියලා තියෙනවා. ඒක තමයි අපේ ඉල්ලීම. නමුත් එකට දාලා තියෙනවා නොවැළැක්විය හැකි අවස්ථාවල නිදහස්කිරීම් දෙන්න පුළුවන් කියලා. ඒ විදියට අවුරුදු 16 - 18 අතර සඳහන් කරලා තියෙනවා. ඒ අවස්ථාවල කාතිලගේ අවසර අරන් විවාහ වෙන්න පුළුවන් කියලා. එතකොට අවුරුදු 18ට අඩු දරුවෙක් දූෂණය කළොත් වැරදිකරුට බේරෙන්න පුළුවන් ඇයව විවාහ කරගෙන. ඒක පිරිමි අයට වාසි සහගත දෙයක්."

"නමුත් අවුරුදු 18 අඩු ළමයෙක් කොහොම ද කැමැත්ත දෙන්නේ. අපි කියන්නේ ඒක දූෂණයක්."

ඒ සම්බන්ධයෙන්, බීබීසී සිංහල සේවය මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ඒ එච් එම් හලීම් ගෙන් විමසීය.

"ඒ වගේ අවස්ථාවක කාතිවරයාගේ අවසරය ඇතිව දෙපාර්ශවයේම කැමැත්ත ඇතිව විවාහ වෙන්න අවස්ථාව තියෙනවා. දෙපාර්ශවයේම කැමැත්ත නැත්නම් අධිකරණයට යන්න පුළුවන්" ඇමතිවරයා කීය.

විශේෂයෙන් මුස්ලිම් කාන්තාවගේ විවාහ වයස අවුරුදු 18ක් ලෙස ඉහළ දැමීමෙන් ඇයට උසස් අධ්‍යාපනය ලැබීමට ද අවස්ථාවක් හිමිවන බව කාන්තා ක්‍රියාකාරී ජාලය පෙන්වා දෙයි.

"පිරිමි අයට වගේම කාන්තාවටත් උසස් පෙළ දක්වා ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්න ඕනේ. අඩු වයසෙන් විවාහ කර දුන්විට මුස්ලිම් කාන්තාවන්ට අධ්‍යාපන අයිතිය නැති වෙනවා. අනිත් කරුණ අඩු වයසේදී ඔවුන්ට අම්මා කෙනෙක් වෙන්න චිත්ත ශක්තිය නෑ. ඒ ගොල්ලෝ දරුවොනේ"

මුස්ලිම් විවාහ වයස පිළිබඳව මුස්ලිම් කාන්තා පර්යේෂණ සහ ක්‍රියාකාරී සංසදයේ අන්බේරියා හනීෆා මීට පෙර බීබීසී සමග මෙසේ පැවසුවාය.

"ලංකාවේ නීති හතරක් තිබෙනවා. තේසවලාමේ, උඩරට නීතිය, මුස්ලිම් අයට බලපාන නීතිය, පොදු නීතිය. පොදු නීතියට යටත් වන අයට දණ්ඩ නීති සංග්‍රහය අදාළයි. අපරාධ දණ්ඩ නීති සංග්‍රහයේ විවාහයට අයත් කොටස මුස්ලිම් අයට අදාළ වෙන්නේ නැහැ."

"පොඩි ළමයි කසාද බන්දලා දිය යුතු බව මම කියන්නේ නැහැ. නමුත් මේ නීතියේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒක හරිම සංකීර්ණ තත්වයක්." ඇය වැඩිදුරටත් පැවසුවා.

(BBC)