Tuesday, October 22, 2024
Follow Us
පාස්කු ප්‍රහාරය ගැන අපි දුන්න වාර්තාවෙන් නඩු පවරන්න බලයක් නැහැ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා පත් කළ ජනාධිපති කමිටු වාර්තාවෙන් නඩු පැවරීමට බලයක් නොමැති බව එම කමිටුවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අවධාරණය කළේය.

විජිත් මළල්ගොඩ මහතා මේ බව සඳහන් කළේ (20) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමිනි.

මෙම විශේෂ කාරක සභාව හමුවේ අද ජනාධිපති කමිටුව සාක්ෂි දීම සඳහා කැඳවා තිබුණි.

එම වාර්තාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන කළ යුතු බවයි මළල්ගොඩ මහතා කියාසිටියේ.

ජනාධිපති පරීක්ෂණ කමිටුව ලෙස විශේෂයෙන් එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී බලධාරීන්ගේ අතපසුවීම් පිළිබඳ අවධානය යොමු වූ අතර දින හතක් වැනි කාලයක් තුළ ජනධිපතිවරයා වෙත වාර්තාවක් ලබා දුන්නේ නැවත එවැනි සිදුවීමක් වළක්වා ගැනීමට බව ඔවුන් සඳහන් කළේය.

ඒ අනුව සති පහක් වැනි කාලයක් තුළ හැට දෙනෙකුගෙන් පමණ සාක්ෂි විමසා ප්‍රහාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කළ බව ඔවුහු කියා සිටියහ.

බුද්ධි අංශ අතර සම්බන්ධීකරණය නොමැති වීම මත යම් පනතක් හරහා එය බලගැන්වීම, ආගමික සංහිඳියාව ආදිය මෙන්ම ආරක්ෂාව භාර තනතුරු සම්බන්ධයෙන් ද නිර්දේශ ඉදිරිපත් කළ බවද කීවේය.

එමෙන්ම අප්‍රේල් 20 වැනිදා වන විට ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම පිළිබඳව අවධානය යොමුකළ බව මළල්ගොඩ මහතා පැවසුවේය.

(LNW)