Tuesday, October 22, 2024
Follow Us
LTTEයේ ප්‍රචාරක කටයුතු මෙහෙයවූ පුද්ගලයෙක් යළිත් විවිධ ක්‍රියාවල

ඉකුත් යුද සමයේ එල්. ටී. ටී. ඊ. සංවිධානයට සම්බන්ධව කටයුතු කළ පුද්ගලයෙකු මේ වනවිටත් නැගෙනහිර පළාත තුළ විවිධ කි‍්‍රයාකාරකම්වල නිරත ව සිටින බවට වාර්තා පළ වනවා. විවිධ පාර්ශ්ව පෙන්වා දෙන්නේ මෙම පුද්ගලයාට එරෙහිව නිසි පරිදි නීතිය කි‍්‍රයාත්මක නොවන බවයි. නඩරාජා සෙයිදු රූබන් නම් වූ ඔහු එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප‍්‍රචාරක කටයුතු මෙහෙයවූ බවටයි පැවසෙන්නේ. එමෙන්ම මෙම පුද්ගලයා අන්තර්ජාලය ඔස්සේ එල්. ටී. ටී. ඊ. සංවිධානයට එරෙහි දෙමළ ජනතාව ඉලක්ක කර ගනිමින් විවිධ ප‍්‍රචාර සිදුකර ඇති බව ද වාර්තා වනවා. දැනට නෙල්ලිඅඩි ප‍්‍රදේශයේ ඔහු ජීවත් වන බවටයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙම පුද්ගලයාට එරෙහිව ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදු කළ බවයි. විදේශ රටක සිටියදී සිදුකළ කප්පම් සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයෙන් වරෙන්තු පවා නිකුත් වී තිබූ බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මෙරටට පැමිණ විවිධ ප‍්‍රදේශවල සැගවී සිට ඇති මෙම පුද්ගලයා ඉකුත් අගෝස්තු 02 වැනිදා නෙල්ලිඅඩි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. කිලිනොච්චි මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ඉකුත් 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම පුද්ගලයාට එරෙහිව කප්පම් සිද්ධියට අදාලව පොලීසියට පැමිණිලි කළ පුද්ගලයා පසුව අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර ඇත්තේ තමන් සිය පැමිණිල්ල ඉවත් කර ගන්නා බවයි. පසුව ඔහු ඇප මත මුදා හැර තිබුණා. අදාළ නඩුව ලබන වසරේ ජනවාරි 23 වැනිදා දක්වා කල්දමා ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

(Neth)