Tuesday, October 22, 2024
Follow Us
හෙටින් ගෙදර යන හමුදාපති මහේෂ් 1983දී හමුදාපති වුණා නම් ..

යුධ හමුදාපති මහෙෂ් සේනානායක මහතාට දෙවැනි වරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදී තිබුණු සේවා දිගුව හෙටින් (18) අවසන් වීමට නියමිතය.

පසුගිය මාස කිහිපයකම සිට වරින් වර මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරයාගෙන් සේවා දිගුවක් අයදුම් කර තිබුණත් ජනාධිපතිවරයාගෙන් ඊට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී තිබුණේ ද නැත.

මහෙෂ් සේනානායක මහතාට හමුදා සේවය තුළ යම් අසාධාරණයක් වී තිබිණි නම් ඊට සාධාරණයක් වනු පිණිස මෙතෙක් ලබාදුන් සේවා දිගු වුවමනාවටත් වඩා ප්‍රමාණවත් වන අතර තුන්වෙනි වරටත් ඔහුට සේවා දිගුවක් ලබා දෙන්නේ නම් එය හමුදාවේ දැනට සේවයෙහි නියුතු මේජර් ජනරාල්වරුන් සහ බ්‍රිගේඩියර්වරුන් ගණනාවකට උසස්වීම් නොලැබ අසාධරණයට ලක්ව විශ්‍රාමයාමට සිදු කරන්නක් වනු ඇත.

කෙසේවෙතත් මහේෂ් සේනානායක මහතා පසුගිය අප්‍රේල් 21 වනදායින් පසුව රටේ ආරක්ෂක තත්වය දුර්වල වී ඇති බවත් බෝම්බ ප්‍රහාරයේ අනතුර පහව ගොස් නොමැති බවත් ජනතාවට ඒත්තු ගැන්වීමට සෑහෙන උත්සාහයක් දැරුවේය. වෙනෙකක් තබා ඔහු දෙවැනි වතාවටත් තමන්ම ඉල්ලාගෙන පාර්ලිමේන්තු කාරක සභාවට පැමිණ සරත් ෆොන්සේකා මහතා සමඟ එක්වෙමින් ද මේ අදහස සමාජගත කිරීමට දැඩි උත්සාහයක නිරත විය.

ඒ, ඉස්ලාම් අන්තවාදයට එරෙහි සටන සඳහා තමන් තවදුරටත් සේවයේ සිටිය යුතු බවට ජනමතයක් ඇති කිරීම සඳහාය. ඒ හරහා තමන්ට සේවා දිගුවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාට වක්‍රාකාරයෙන් පීඩනයක් එල්ල කිරීම සඳහා ය.

හමුදාපතිගේ මේ තර්කය අනුව බැලුවොත් 1983 සමයේදී මහෙෂ් සේනානායක මහතා හමුදාපති තනතුරට පත්වූයේ නම් 2009 වසර දක්වාම ඔහු හමුදාපති තනතුරේ සිටිය යුතුය. නැතිනම් යුද්ධය අවසන් කරන්නට නොහැක. 2009න් පසුත් ත්‍රස්තවාදයේ තර්ජනය 100%ක් අවසන් නොමැති නිසා කවර හෝ ආකාරයේ ප්‍රහාරයක් එල්ල වීමට ඇති අවදානම දුරු කරගැනීම සඳහා ඔහුව මේ දක්වාත් සේවා දීර්ඝයන් ලබා දෙමින් සේවයේ පිහිටුවා තබාගත යුතුය.

(LNW)