Tuesday, October 22, 2024
Follow Us
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සොඳුරු පියසින් කෝටි 547ක ණය

අඩු ආදායම්ලාභීන්ගේ නිවාස අවශ්‍යතාව සපුරාලීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පොලී සහන ණය වැඩසටහන යටතේ ක්‍රියාත්මක 'සොඳුරු පියස' ණය ක්‍රමයෙන් මේ වන විට රුපියල් කෝටි 547ක ණය මුදල් ලබාදී ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ප්‍රකාශ කෙළේය. මේසා විශාල මුදල නිවාස ණයලාභීන් 27440 දෙනකු වෙත බැංකු පද්ධතිය විසින් නිදහස් කොට ඇතැයි ද ලේකම්වරයා සඳහන් කෙළේය. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම 17 අතුරින් මේ වන විට වැඩිම ප්‍රතිලාභීන් පිරිසක් 'සොඳුරු පියස' ණය ක්‍රමයෙන් ණය ලබාගෙන ඇතැයි ද ලේකම්වරයා කීය.

ලංකා බැංකුව ණයලාභීන් 17121 කටත්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව 7443 කටත්, මහජන බැංකුව පුද්ගලයන් 2876 කටත් ණය පිරිනමා ඇත.

වර්ග අඩි 1500කට අඩු නිවාස හිමියන්ට තම නිවාසයේ ඉදිකිරීම් සම්පූර්ණ කර ගැනීමට පවතින තත්ත්වයන් වැඩි දියුණු කර ගැනීමට රුපියල් ලක්ෂ 02ක උපරිමයකට යටත්ව බැංකු ණය ලබාදේ. ණය මුදල් ආපසු ගෙවීමට වසර 07ක කාලයක් ලබා දේ.

ණය මුදල් සඳහා ණයලාභියාගෙන් අය කරනුයේ සියයට 6.93ක් තරම් අඩු පොලියකි. මුළු පොලියෙන් සියයට 50ක් රජය විසින් ණයලාභියා වෙත ගෙවා දැමීම මෙහි ඇති සුවිශේෂීත්වය බව ද ලේකම්වරයා පැහැදිලි කෙළේය.

(Dinamina)