Tuesday, October 22, 2024
Follow Us
දිස්ත්‍රික්ක තුනකට නායේ යෑම් අවධානමක්!

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයෑම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබේ.

ඒ අනුව නුවරඑළිය, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කයන්හි මෙම අවධානම පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.

නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ අඹගමුව, කොත්මලේ, නුවරඑළිය, රත්නපුර දිස්ත‍්‍රික්කයේ කුරුවිට, ඇහැලියගොඩ, ඇලපාත, කිරිඇල්ල සහ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ බුලත්කොහුපිටිය, දැරණියගල හා යටියන්තොට යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාව විශේෂ අවධානයකින් පසුවිය යුතු බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානයද පවසන්නේ.

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් නිවාසවලට දැඩි හානි සිදුව ඇති අතර අවදානම් සහිත ප්‍රදේශ වලින් ජනතාව ඉවත් කිරීමටද අපදා කලමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත.

දිඹුල පතන පොලිස් වසමට අයත් ක්රිස්ටල්ස්ෆාම් වතුයායේ නිවාස පහක් ජලයෙන් යට වී ඇති අතර එහි සාමාජිකයින් විසි දෙනෙකු අවතැන්වී තිබේ. ඔවුන් තාවකාලිකව එම වතුයායේ වෙනත් නිවාසවලට ගොස් ඇති බව සඳහන්.

ඊයේ දිනය වන විට නෝටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන්ගෙන තිබුණි.

මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු ද වරින් වර අඩාල වෙමින් තිබේ.

මේ අතර නෝර්වුඩ් වතුයායේ බංගලා කොටසේ පස් කන්දක් කඩ වැටීමෙන් නිවාස පෙළක් යට වී ඇති බව නෝර්වුඩ් පොලිසිය සඳහන් කරයි.

එම පස් කන්ද කඩ වැටීමෙන් නිවාස 10ක යට වී ඇති බවයි වාර්තා වුණේ.

මහවැලි ගඟද පිටාර ගැලීම නිසා නාවලපිටියේ නිවාස රැසක් ජලයෙන් යට වී ඇති බවද නාවලපිටිය පොලීසිය සඳහන් කරයි.

මේ අතර කළු, ගිං සහ කැළණි ආශ්‍රිත පහත බිම් වල වෙසෙන ජනතාවටද සැලකිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන්ද ගිං ගඟ තවලම ප්‍රදේශයෙන්ද කැළණි ගඟ දැරණියගල සහ කිතුල්ගල ප්‍රදේශයෙන්ද අවධානමක් පවතින බව සඳහන්.

මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකද ගං වතුර තත්ත්වයක් මතුව තිබේ.

(LNW)