Tuesday, October 22, 2024
Follow Us
මෙවර ජනාධිපතිවරණයේදී දෙවැනි මනාපයත් ගණින්න වෙයිද?

ඉදිරි ජනාධිපතිවණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා හැරෙන්නට සැලකිය යුතු බලපෑමක් සිදුකළ හැකි අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් වීම නිසා ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වරට දෙවැනි සහ තුන්වැනි මනාපය ගණන් කිරීමට සිදුවීමේ තත්ත්වයක් උද්ගත වනු ඇති බව වාර්තා වේ.

ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරණයකදී දෙවැනි මනාපය ගණන් කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවූ අතර ඒ ජයග්‍රාහී අපේක්ෂකයා 50% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වූ බැවිනි.

මෙරට ජනාධිපතිවරණ නීතිය අනුව ජයග්‍රහණය කිරීමට නම් යම් අපේක්ෂකය‍ෙක් ප්‍රකාශිත වලංගු ඡන්දවලින් 50% කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත යුතුය. එසේ නොමැති අවස්ථාවකදී දෙවැනි මනාපය ගණන් කිරීමට සිදු වේ. ප්‍රකාශිත දෙවැනි මනාප ගණන් කිරීමෙන් පසුවත් අදාල ප්‍රතිශතය ඉක්මවා නොයන්නේ නම් තෙවැනි මනාපය ද ගණන් කිරීමට සිදු වේ.

මේ පිළිබඳව බහුතර ඡන්දදායකයන්ට පවා අවබෝධයක් නොමැති අතර සාමාන්‍යයෙන් බහුතර ඡන්දදායකයන් සිදු කරන්නේ තමන් කැමති අපේක්ෂකයාගේ ඡන්ද ලකුණ ඉදිරියේ කතිරය ලකුණු කිරීම පමණි.

මෙම තත්වය සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ද අවධානය යොමුව තිබේ. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ මේ පිළිබඳව සියලු ඡන්දදායකයන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බවයි.

මතුවිය හැකි අර්බුදය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවත් ඡන්දදායකයන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටන් මාලාවක් ආරම්භ කළයුතු බවත් ඔහු පවසයි.

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා හැර සෙසු අපේක්ෂකයන් සියලු දෙනා එක්ව ප්‍රකාශිත වලංගු ඡන්දවලින් ලක්ෂ 05 කට වැඩි ප්‍රමාණයක් ලබා ගතහොත් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් කිසිවෙකුටත් 50% කට වැඩි ප්‍රතිශතයක් ලබාගත නොහැකි වනු ඇත. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී දෙවැනි හා තුන්වැනි මනාපය ලකුණු කිරීම අතිශය වැදගත් වේ.

මේ සම්බන්ධයෙන් ඡන්දදායකයන් අතිශය බහුතරය දැනුවත්ව නොමැත. ඒ සම්බන්ධයෙන් ඡන්දදායකයන් දැනුවත් කිරීම අතිශය වැදගත් වන්නේ, දෙවැනි හා තුන්වැනි මනාපය ලකුණු කිරීම නිවැරදිව සිදු නොකළහොත් අදාල ඡන්ද පත්‍රිකාව අවලංගු වීමේ වැඩි ඉඩක් ද පවතින හෙයිනි.

(LNW)