Tuesday, October 22, 2024
Follow Us
මෙම වසරේ මුල් මාස 7 ක කාලසීමාව තුළ අල්ලස් චෝදනා එල්ල වූ පුද්ගලයින් 11කට සිරදඬුවම්

මෙම වසරේ මුල් මාස හතක කාලසීමාව තුළ අල්ලස් චෝදනා එල්ල වී තිබූ පුද්ගලයන් 11 දෙනෙකු අධිකරණය මඟින් වරදකරු කොට සිර දඬුවම් නියම කර ඇතැයි වාර්තා වේ.

අධිකරණ වාර්තා පෙන්වා දෙන පරිදි මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මස අවසානය දක්වා වූ කාලසීමාව තුළ මෙසේ වරදකරු කරනු ලැබූ පුද්ගලයින් අතර කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂමන් විදානපතිරණ සහ දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ නොහොත් “අතකොටා” යන අය ද ඇතුළත්ව සිටිති. ඊට අමතරව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ පොලිස් සැරයන්වරු තුන්දෙනෙකු ද අධිකරණය මඟින් වරදකරු කොට සිර දඬුවම් පමුණුවා ඇති අතර අධිකරණ කළමනාකරණ සහකාර නිලධාරීයෙකු ද වරදකරුවන් කෙරුණු පිරිසට ඇතුළත්ව සිටී.

ඊට අමතරව ග්‍රාම නිලධාරියෙකු , කම්කරු නිළධාරියෙකු මෙන්ම හිටපු ප්‍රාදේශීය ලේකම්වරයෙකු ද වරදකරුවන් කරනු ලැබූ පිරිසට ඇතුළත්ය. මෙම පිරිස අතරින් විත්තිකරුවන් නවදෙනකු කොළඹ මහාධිකරණය මගින් වරදකරුවන් කර තිබෙන අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරදකරුවන් කළ විත්තිකරුවන් සංඛ්‍යාව දෙදෙනෙකි. රජයේ සේවකයින් ලෙස කටයුතු කරමින් රාජකාරි කටයුතු ඉටුකිරීමේදී අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා ඉදිරිපත් කර තිබුණි. මෙම විත්තිකරුවන් අධිකරණය මගින් වරදකරුවන් කිරීමෙන් පසුව ඔවුන්ට වසර දෙකේ සිට වසර 16 ක් දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් විත්තිකරුවන් වැඩි සංඛ්‍යාවක් වරදකරු කොට සිර දඬුවම් නියම කොට ඇති අතර එම සංඛ්‍යාව හතර දෙනෙකි.

(Aruna )