Tuesday, October 22, 2024
Follow Us
නවක වද චෝදනා ඔප්පු වුණොත් ශිෂ්‍ය භාවය අහෝසි කළ හැකියි

මහාචාර්ය උමා කුමාරස්වාමි අධ්‍යක්ෂ - ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානතාව/සාධාරණත්වය පිළිබඳ කේන්ද්‍රය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

පැමිණිල්ලක් තියෙනවා නම් අපේ කේන්ද්‍රයට සෘජුව ඇවිත් හෝ හදිසි දුරකථන ඇමතුම් හරහා හෝ ඊ මේල් පණිවුඩ හරහා කරන්න පුළුවන්. ඒ සඳහා 0112 123 700 දුරකථන අංකය භාවිතා කරන්න පුළුවන්. This email address is being protected from spambots. You need JavaScript enabled to view it. සහ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපින හරහා පැමිණිලි ඉදිරිපත් කරන්නත් පුළුවන්. තවදුරටත් සහය ලබා ගැනීමට අවශ්‍ය නම් ජංගම දුරකථනයේ ඇති Emergency safety app එක භාවිතා කරන්නත් පුළුවන්. මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමත් ඉතා වැදගත්.

විශ්වවිද්‍යාලවල නවක වධය සම්බන්ධයෙන් ඔබ දරන මතය කුමක් ද?

නවක වදය කියලා කියන එක රැග් කිරීම කියලා දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාලවල තිබුණා. මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ 1961දී. ඒ කාලෙත් රැග් එක තිබුණා. නමුත්, එදා තිබුණ රැග් එක අද වගේ එකක් නෙවෙයි. එතැනදී ලංකාව සෑම තැනින්ම එන සිසුන් සියල්ලෝම හොඳ හඳුනාගැනීමකට ලක් වුණා. අද වගේ ශාරීරික වද හිංසා දුන්නේ නැහැ. දැන් විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ සිදුවන නවක වඳයෙන් සිසුන්ට පීඩාවක් වෙනවා කියලා අපිට පේනවා.

එදා තිබුණ සුහදත්වය වර්ධනය කරගන්න රැග් එක දැන් දරුවන්ට විශ්වවිද්‍යාලය එපා කරවන තැනට ඇවිල්ලා කියල ද කියන්නේ?

බලන්න දැන් බොහෝ සිසුන් ඒ අයට පහර දුන්නා කියලා පැමිණිලි කරනවා. මේක පටන් ගන්න කාලේ එහෙම දේවල් තිබුණේ නැහැ. දැන් ළමයි බොහෝ පිරිසක් මෙතැනට ඇවිල්ලා අඬනවා. ඒ අයට ශාරීරික හිංසා කරනවා විතරක් නෙවෙයි අහන් ඉන්න බැරි පරුෂ වචනවලින් කතා කරනවා. මේ දරුවෝ විශ්වවිද්‍යාලයට තේරිලා එන්නේ ගෙවල්වල මවුපියන්ගේ ආරක්ෂාවේ ඉඳලා එහෙම එන දරුවන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණ ගමන් මානසික ආතතියට ලක් වෙනවා. ක්‍රමයෙන් අධ්‍යාපනය එපා වෙලා මානසික පීඩාවකට ලක් වෙනවා.

ලිංගික හිංසාව කියන එක විශ්වවිද්‍යාල සිසුන්ට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒ වගේ අවස්ථාවක සිසුවෙක් ගත යුතු ක්‍රියාමාර්ග මොනව ද?

ගොඩක් සිසුන් පැමිණිලි කරන විදිහට විවිධාකාරයේ ලිංගික හිංසාවන් සිදු වෙනවා. එවා අපිට කියනකොටත් අහගෙන ඉන්න තරම් භයංකරයි. මේ තත්ත්වය ගොඩක් දකින්න තියෙන්නේ සිසුන් අතරයි. සිසුවියන් අතර ඒ තත්ත්වය දකින්න ලැබෙනවා අඩුයි. සමහර විශ්වවිද්‍යාලවල ගැහැනු ළමයින්ට හිංසා කරන්න බෑ කියලා රීතියක් තියෙනවා. ඒ නිසා තරමක අඩු හිංසනයක් තමයි ගැහැනු දරුවන්ගෙන් දකින්න තියෙන්නෙ. නමුත් ගැහැනු ළමයින් අතර ඇතිවන වද හිංසා තිබෙනවා. මේ ගැන මවුපියන්ට මොකුත් කියන්න කරන්න බැහැ. එහෙම කරන්නේ අලුත් සිසුන් අතර සුහදතාවය වර්ධනය කරගන්න කියලා කියන්නේ අමූලික බොරුවක්.

මේ තත්ත්වය වළක්වා ගන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ගන්න පියවර මොකක් ද?

අවුරුදු ගණනාවක් යන තුරුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් කිසි දෙයක් වුණේ නැහැ කියලා කියනවා. ඇත්ත මේ සම්බන්ධයෙන් යම් කිසි සාධාරණ පියවරක් ගන්න අවශ්‍ය බලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට තිබුණේ නැහැ. විශ්වවිද්‍යාල සිසුන්ගේ විනය සම්බන්ධයෙන් තියෙන බලය තිබුණේ ඒ ඒ විශ්වවිද්‍යාලවලට. විශ්වවිද්‍යාලවල උපදේශනය කියලා එකක් තියෙනවා. එතැන ප්‍රධානියා උපකුලපති. මමත් අවුරුදු හයක් උපකුලපති කෙනෙක් විදිහට වැඩ කළා. විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ පීඨාධිපතිවරු පත් කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම. විශ්වවිද්‍යාල සිසුන්ගේ විනය සම්බන්ධ නීති රීති තියෙන්නේ මේ පත් කරන උපදේශන සභාව යටතේ. බලය එතැන තිබුණ නිසා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මේ ප්‍රශ්නයට මැදිහත්වෙන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. 2015න් පස්සේ විශ්වවිද්‍යාල සිසුන්ගේ විනය සම්බන්ධයෙන් සොයා බලන බලයත් එක්ක කොමිසම පිහිටෙව්වා. ඊට පස්සෙ හොයාගෙන යද්දී දකින්න ලැබුණේ විශ්වවිද්‍යාලයට තේරිලා එන බහුතරයක් සිසුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතෑරලා යනවා කියලයි.

නවක වධයෙදි විශ්වවිද්‍යාලවලට ඇතුළත් වුණ දුප්පත් දරුවන් සහ ඇති හැකි දරුවන් සම්බන්ධව කටයුතු කරන්නෙ දෙයාකාරයකට කියලයි සඳහන් වෙන්නේ?

බොහෝ වෙලාවට ඇති හැකි අය විශ්වවිද්‍යාල අතෑරලා ගිහින් වෙනත් තැනකින් උපාධියට ඉගෙන ගන්නවා. ඒත් දුප්පත් අම්මලා තාත්තලාගෙ දරුවන්ට ඒක කරන්න බැහැ. ඒ අය මෙතැනට ඇවිත් මවුපියන් එක්ක වැළපෙන විඳිහ බලාගෙන ඉන්න අපිටත් බැහැ. ඒ තරම් ඒ කතා සංවේදියි. මුදල් තියෙන අය විශ්වවිද්‍යාලය අතෑරලා ගියාට නැති අයට එහෙම යන්න අමාරුයි. ඒ නිසා තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මේ සම්බන්ධයේ කුමක් හෝ කළ යුතුයි කියන තැනට ආවේ. 2015න් පස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කමිටුවක් පත් කරලා මේ ගැන සොයා බලන්න කියලා නිර්දේශ වුණා. ඒ අනුව තමයි ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ සමානතාව/සාධාරණත්වය පිළිබඳ කේන්ද්‍රය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තුළ පිහිටෙව්වේ.

විශ්වවිද්‍යාල සිසුවෙක් හිංසාවකට, පීඩාවකට ලක් වුවොත් මේ කේන්ද්‍රයට සෘජුව පැමිණිලි කරන්න පුළුවන්ද?

විශ්වවිද්‍යාලය ඇතුළේ තියෙන උපදේශන සභාවට සිසුවෙක් පැමිණිලි කරන්න ගියොත් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ ඒ කාරණය දකිනවා. ඔවුන් ඒවා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ පැමිණිලි කළ ශිෂ්‍යාට තව තවත් පීඩා එල්ල කරනවා. ඒ නිසා පීඩාවට පත් වුණ සිසුන්ට පැමිණිලි කරන්න නිදහසක් පවා තිබුණෙ නැහැ. නමුත් මේ කේන්ද්‍රය පිහිටෙව්වට පස්සේ කෙළින්ම අපිට පැමිණිලි කරන්න පුළුවන්. උසස් පෙළින් දක්ෂතා පෙන්නපු දරුවෝ විශ්වවිද්‍යාලයට ආවට පස්සේ ඒ දක්ෂතා නොපෙන්වන හේතුව වන්නේත්, මේ නවක වදය. විශ්වවිද්‍යාලය ඇතුළේ සිසුන් ඉගෙන ගන්නෙ පීඩාවෙන්. පාඩම් කරන්න බැහැ. දක්ෂ උපාධිධාරියෙක් නිර්මාණය කරන්න මේ තත්ත්වය හරස් වෙලා.

කවරකු හෝ නවක වද චෝදනාවට ලක් වෙලා චෝදනා ඔප්පු කළහොත් දඬුවම් කරන්න පුළුවන් ද?

ශ්‍රී ලංකාව තුළ නවක වදය කියන එක නීති විරෝධී ක්‍රියාවක් කියලා විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කරලා තියෙනවා. ඒ යටතේ කරනු ලබන අඩන්තේට්ටම්, නීති විරෝධී සිරගත කිරීම්, ලිංගික හිංසනය හා අනෙකුත් එවැනි කටයුතු සාපරාධි ක්‍රියාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අධ්‍යාපනික ආයතන තුළ වන නවක වදය හා අනෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියා 1998 අංක 20 දරණ පනත මඟින් සාපරාධි ක්‍රියාවක් විදිහට නම් කරලා තියෙනවා. ඒ නිසා එවැනි සිද්ධියක් වාර්තා වුණොත් නීතිමය පියවර ගැනීමට පොලිසියට බලය තියෙනවා. ඊට අමතරව විශ්වවිද්‍යාලය මඟින් විනය පරීක්ෂණයක් පවත්වලා වරදකරුවන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කරන්නත් පුළුවන්.

යම් සිද්ධියක් සම්බන්ධයෙන් ශිෂ්‍යයකුට අනන්‍යතාවය හෙළි නොවන ආකාරයට පැමිණිලි කරන්න පුළුවන් ද?

අපේ කේන්ද්‍රය කිසිම ශිෂ්‍යයෙක්ගෙ තොරතුරු එළියට දෙන්නේ නැහැ. අපි සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන ආරම්භ කරනවා. යම් පැමිණිල්ලක් තියෙනවා නම් අපේ කේන්ද්‍රයට සෘජුව ඇවිත් හෝ හදිසි දුරකථන ඇමතුම් හරහා හෝ ඊ මේල් පණිවුඩ හරහා කරන්න පුළුවන්. ඒ සඳහා 0112 123 700 දුරකථන අංකය භාවිතා කරන්න පුළුවන්. This email address is being protected from spambots. You need JavaScript enabled to view it. සහ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපින හරහා පැමිණිලි ඉදිරිපත් කරන්නත් පුළුවන්. තවදුරටත් සහය ලබා ගැනීමට අවශ්‍ය නම් ජංගම දුරකථනයේ ඇති Emergency safety app එක භාවිතා කරන්නත් පුළුවන්. මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමත් ඉතා වැදගත්.

නවක වඳය නිසා දිවිනසා ගත් සිසුන් පවා ඉන්නවා. ඉදිරියේ දී මේ තත්ත්වය වළක්වා ගන්න පුළුවන් ද?

පහුගිය කාලේ විශ්වවිද්‍යාල සිසු දරුවන් දෙදෙනෙක් මිය ගියා. ඒ අය මිය ගිහින් තියෙන්නේ ලියුම් ලියලා තියලා . ඒ ලියුම් අපි ගාව තියෙනවා. ඒවායේ ලියලා තියෙන්නේ අපි මැරිලා ආයෙත් ඇවිත් නවක වදය දුන්න අයගෙන් පළිගන්නවා කියලා. ඒ සිසුන් ඒ තරම් ම දරුණු විදිහට නවක වදයට ලක් වෙලා. ඉවසගන්න බැරිම තැන සියදිවි නසා ගෙන. ඒ වගේ සිසුන් අපිට පැමිණිලි කළාම ක්ෂණිකව අපි ප්‍රතිචාර දක්වනවා. සමහර සිසුන් ආයෙත් ඒ විශ්වවිද්‍යාලයට යන්නම බෑ කියනවා නම්, ඉසෙඩ් ස්කෝර් එක බලලා වෙනත් විශ්වවිද්‍යාලයක් ලබා දෙන්න අවශ්‍ය කටයුතු අපි හදලා දෙනවා. 2016 - 2017 වර්ෂවල විශ්වවිද්‍යාලවලට බඳව ගත්ත සිසුන් 2000කට ආසන්න ප්‍රමාණයක් විශ්වවිද්‍යාල අතෑරලා ගිහින් තියෙනවා. අපි කරපු පර්යේෂණයකට අනුව ඒ ගියපු අයගෙන් 30%ක් නවක වදය නිසා ගියා කියලා සඳහන් වුණා. ඒ සිසුන් විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වෙලා ගියාට පස්සේ ඒ පුරප්පාඩුව තව කෙනකුට දෙන්න විදිහක් නැහැ. ඒ නිසා අපේ කේන්ද්‍රය උපරිමයෙන් මේ සිසුන් රකින්න කැපවෙනවා.

මේ තත්ත්වය ඇතිවෙන්න විශ්වවිද්‍යාලවල දේශපාලනයත් බලපාල තියෙනවද ද?

දේශපාලනය ගැන කියන්න මම දන්නෙ නැහැ. හැමෝම කතා වෙන්නේ මේ දේශපාලනය ඇතුළට රිංගලා තියෙන නිසා තමයි මේක නවත්වන්න බැරි කියලා. අපිට ඒක අදාළ නැහැ. අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් මේ නවක වදය ඉවත් කරන්න අවශ්‍ය කරන්නේ මොනව ද කියලා අධ්‍යයනය කරගෙන යනවා. නවක වදය ඉවත් කරන්න අවශ්‍ය කරන පසුබිම හදාගෙන යනවා. ඉදිරියේ දී විශ්වවිද්‍යාලය සිසුන්ට ප්‍රියමනාප තැනක් කරන්න අවශ්‍ය පසුබිම හදන්න අපි උපරිමයෙන් කැප වෙලා වැඩ කරනවා. ඊට පස්සේ මේ ප්‍රශ්නය මඟ හැරිලා යයි.

(Dinamina)