Tuesday, October 22, 2024
Follow Us
හදවත් රෝගීන් දස දහස් ගණන් සැත්කම් පෝලිමේ

බෝනොවන රෝගවලින් වැඩිම පිරිසක් ශ්වසන රෝගීන් හා හදවත් රෝගීන් බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්වසන රෝගීන් පන්ලක්ෂ විසිහයදහසක් (526510) වාර්තා වෙයි. 1980 වර්ෂය වන විට හදවත් රෝගීන් දහඅට දහස් දෙසීයක් වාර්තා වී ඇති අතර මේ වන විට එම සංඛ්‍යාව එක්ලක්ෂ අනූතුන්දහස දක්වා වර්ධනය වී ඇත.

ඉන්පසු වැඩිම බෝනොවන රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ පිළිකා රෝගීන් ලෙසය. 1980 දී පිළිකා රෝගීන් දහඅටදහසක් සිටි අතර මේ වනවිට රෝගීන් ප්‍රමාණය එක්ලක්ෂ තිස්දහස දක්වා වැඩිවී ඇත. 1980 වන විට කිසිදු වකුගඩු රෝගියකු වාර්තා නොවී ඇති අතර අද වන විට එක්ලක්ෂ විසි එක්දහස දක්වා වැඩිවී තිබේ.

හදවත් රෝගීන් මෙතරම් වැඩි වී තිබෙන තත්ත්වයක් යටතේ දිනකට කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් හතරක් පමණ සිදු කරන අතර එය පොරොත්තු ලේඛනයේ රෝගීන් හයදහස් තුන්සිය විස්සක් ද කරාපිටිය රෝහලේ දිනකට හෘද සැත්කම් 2 හෝ 3ක් සිදු කරන තත්ත්වයක් යටතේ එහි පොරොත්තු ලේඛනයේ රෝගීන් දෙදහස් තුන්සිය හැට ගණනක්ද සිටින බව වාර්තා වෙයි.

මහනුවර මහ රෝහලේ දිනකට සැත්කම් 3 හෝ 4ක් සිදු කරන අතර එහි පොරොත්තු ලේඛනයේ රෝගීන් තුන්දහස් දෙසීය අටක් සිටින අතර කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දිනකට සැත්කම් 3 හෝ 4 සිදු වෙද්දී පොරොත්තු ලේඛනයේ හදවත් රෝගී දරුවන් දහසක් පමණ සිටින බව වාර්තා වෙයි.

(Aruna)